පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කර ඇති සත්යග්රහය තවදුරටත් පැවැත්වේ.
පසුගිය 16 වැනි දින පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්යග්රහය ආරම්භ කළ අතර එදින එහි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය විය.
සත්යග්රහයේ නිරත ස්වාමීන්වහන්සේලා සඳහන් කරනුයේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවය.
පසුගිය 16 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳි සිටි භික්ෂූන් වහන්සේලා පිරිස අනතුරුව බුද්ධ ශාසන අමාත්යාංශය ඉදිරිපිටට වැඩම කළ අතර එහිදී අමාත්යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවකද නිරත විය.
අනතුරුව එම සාකච්ඡාව අසාර්ථක බව පවසමින් ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන තෙක් විහාර මහා දේවි උද්යානයේ රැඳී සිටින බවට උන්වහන්සේලා සඳහන් කළේය.
මේ අතර ඊයේ (17) රාත්රියේ විහාරමහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිතර ස්වාමින්වහන්සේලා සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය විය.
එහිදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් පූජ්ය බලංගොඩ කස්සප හිමි සුව සැරිය ගිලන් රථයක් ආධාරයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගැනුණි.
මෙහිදී භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස පැවසුවේ පොලිසිය විසින් පූජ්ය බලංගොඩ කස්සප හිමියන්ට පහර දුන් බවය.
කෙසේ නමුත් අදාළ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්ය ප්රකාශක ෆෙඩ්රික් වුට්ලර් මහතා පැවසුවේ පහරදීම් සම්බන්ධව එල්ලවන චෝදනා ප්රතික්ෂේප කරන බවය.
ඒ මහතා පැවසුවේ ඒ හිමියන් එම ස්ථානයේදී පය ලිස්සා වැටුණු බවත් ඒ අනුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත්ය.
කෙසේ නමුත් රෝහල් ගත කළ බලංගොඩ කස්සප හිමියන් එහිදී පැයකට පමණ පසු රෝහලින් බැහැරව ගොස් තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවසුවේ ඒ හිමියන් තවදුරටත් ප්රතිකාර අනවශ්ය බව පවසා මෙලෙස රෝහලින් බැහැරව ගොස් ඇති බවය.

