සිංගප්පූරුවේ දී හෘද සැත්කමකට ලක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජුලි මස 22 වැනි දින යළි මෙරටට පැමිණෙන බව ජනාධිපති නීතීඥ අලි ශබ්රි මහතා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත අද දැන්වීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබෙන නඩුවක් අද යළි කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරයා මේ බව දැනුම් දුන්නේ ය.
සිය සේවාදායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා 2019-05-31 සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට ලක්ව ඇති බවත් ඔහු ජුනි 9 වැනිද රෝහලෙන් පිටත්ව ගොස් ඇති බවත් දන්වා සිටි නීතිඥවරයා එතැන් පටන් සති 6ක් කාලයක් පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ ක්‍රියාවලියක තම සේවාදායකයාට නිරත වීමට සිදුව ඇතැයි අධිකරණයට දැන්වීය.
විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් ප්‍රතිකාරවලට අදාළ වෛද්‍ය වාර්තා ද ජනාධිපති නීතීඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
අදාළ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගත වීමට ලබාදී තිබූ අවසරය ලබන ජුලි 24 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කළේය.
මෙම නඩුව සම්පත් අබේකෝන් (සභාපති විනිසුරු ), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.