පාස්කු ප්‍රහාරය බාරගන්නැයි IS නායකයාගෙන් ඉල්ලූ තෙවැනි පාර්ශවකරු කවුද?

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ අයිඑස් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මුලදී දැන නොසිටි බවට අනාවරණය වී තිබේ.

මෙරට විමර්ශන තොරතුරු උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත් මේ බව හෙළි කළේය.

මෙරට අත්අඩංගුවේ පසුවන ප්‍රහාරයේ සැකකරුවකු විසින් හෙළිකරන ලද තොරතුරු අනුව එම පුවත් සේවය මේ බව සඳහන් කර ඇත.

එම සැකකරු පවසා ඇත්තේ ප්‍රහාරයට පෙර අයිඑස් නායකයා ඒ බව දැන නොසිටි බවත් ප්‍රහාරයෙන් පසුව අයකු විසින් (දැනට මෙරට අත්අඩංගුවට ගෙන සිටින) තෙවන පාර්ශවයක් මගින් කළ ඉල්ලීමකට අනුව අයිඑස් නායකත්වය එය පිළිගත් බවය.

මෙරට ජිහාඩ් මතවාදීන් විසින් අයිඑස් මතවාදය වෙනුවෙන් ප්‍රහාරය ඔස්සේ තම ජීවිත කැප කළ බවට හඳුනාගන්නා ලෙසට අබු බකර් වෙත තෙවන පාර්ශ්වකරු ලවා ඉල්ලා සිටි බව ඔහු හෙළි කර ඇත.

අයිඑස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබුණේ එම ප්‍රහාරයෙන් පැය 48කට පසුවයි.

නම හෙළිකිරීමට අකමැති මෙරට විමර්ශකයකු උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කරන්නේ මෙරට ජිහාඩ් සැකකරුවන් අයිඑස් සංවිධානය සමඟ ඍජු සබඳතා පැවැත්වූයේද යන්න පිළිබඳ තවමත් තහවුරු කරගෙන නොමැති බවයි.

කෙසේවෙතත් අයිඑස් සංවිධානය වෙත සහය දක්වන ආකාරයට මතවාද පැතිරීම ආදියෙන් සහය වූ බවට පෙනී ගොස් ඇතැයිද ඔහු පවසා තිබේ.

සෞදි අත්අඩංගුවට ගෙන සිටියදී මෙරටට රැගෙන ආ ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සන්නද්ධ නායක මොහොමඩ් මිල්හාන්, සහරාන්ගෙන් පසුව එම සංවිධානයේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාගෙන තිබූ බවට හෙළිවී ඇතැයි විමර්ශනයේ යෙදෙන ප්‍රකාශකයා පවසා ඇත.

මිල්හාන්ගේ ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකථනය සෞදි රජයෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් එමගින් සෙසු ප්‍රහාර ගැන සැලසුම් තිබූ ආකාරය හා තවත් තොරතුරු හෙළිකරගත හැකිවනු ඇතැයි ද ඔහු පවසා තිබේ.