උපාලි තෙන්නකෝන්ගේ වාහනයේ හමුදා බුද්ධි කෝප්‍රල්ගේ ඇඟිලි සලකුණු තිබිලා (update)

Picture of අසංක

අසංක

හමුදා බුද්ධි අංශයේ සේවය කළ කෝප්‍රල් ලලිත් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනුණේ ජනමාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියේදී ඔහුගේ වාහනයෙන් ලබාගත් ඇඟිලි සලකුණු හා සැසඳීම නිසා බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධියට අදාළව හමුදා බුද්ධි අංශයට අයත් සාමාජිකයන් 700කට අධික සංඛ්‍යාවකගේ ඇඟිලි සලකුණු පරීක්ෂා කර තිබූ අතර උපාලි තෙන්නකෝන් මහතාගේ වාහනයේ තිබී හඳුනාගත් ඇඟිලි සලකුණු කිහිපය අතරින් එකක් කෝප්‍රල් ලලිත් රාජපක්ෂගේ ඇඟිලි සලකුණ හා සැසඳී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ හංවැල්ල ප්‍රදේශයේදී ය.

මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර හඳුනාගැනීමේ පෙරටුට්වක් ද පැවැත්වුණි

2009 ජනවාරි 23 වැනිදා ජනමාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මකයි.