වසර 50ක් තිස්සේ මුහුදේ පාවුණු බෝතලයක් ඇතුළේ පණිවුඩයක්

Picture of අසංක

අසංක

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක් තුළ වසර 50කට පෙර ලියූ පණිවුඩයක හිමිකරු සොයන පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

දකුණුදිග ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළේ තිබී මේ බෝතලය හමුවී ඇත්තේ ධීවරයකු වන පෝලි එලියට්ගේ පුතු වන ජ්‍යාට ය.

එම බෝතලයේ තිබී ඇත්තේ කෲස් නෞකාවකින් දකුණුදිග ඕස්ට්‍රේලියාවේ ෆ්‍රීමැන්ටල් සිට නැගෙනහිර මුහුදෙන් මෙල්බර්න් කරා ගමන් ගනිමින් සිටි 13 හැවිරිදි ඉංග්‍රිසි ජාතිකයකු වන පෝල් ගිබ්සන් නමැත්තා ලියූ පණිවිඩයකි.

සාගර විද්‍යාඥ ඩේවිඩ් ග්‍රිෆින් පවසන්නේ මෙම බෝතලය වසර 50ක් තිස්සේ මෙම ප්‍රදේශයේම පාවෙවී තිබූ බවට විශ්වාස කළ නොහැකි බවයි.

ඊට හේතුව සාගරය කිසිදා එකම ආකාරයකින් නොතිබීම යැයි ඔහු පෙන්වා දෙයි.

ඔහු පවසන ආකාරයට මෙම බෝතලය වෙරළේ වළලා තිබී පසුව කුණාටු හේතුවෙන් වෙරළෙන් මතුවී මුහුදට ගසාගෙන යන්නට ඇති බවයි.

බෝතලයේ තිබූ පණිවුඩයේ පෝල් ගිබ්සන් නමැත්තා තමා හදුන්වා දී තමා සිටිනා තැන ලෙස සදහන් කර තිබුණේ ”ෆ්‍රීමැන්ටල් සිට සැතපුම් 1000ක්’ යනුවෙනි. එම සටහන තුළ ද තරමක ගැටලුසහගත බවක් ඇතැයි සාගර විද්‍යාඥයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් 1960 කාලයේදී දහස් ගණනින් බ්‍රිතාන්‍යයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ.

දරුවන්ට නොමිලේ ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට ඉඩදීම, සහනාධාර ලබාදීම ආදී කරුණු මත මෙම ප්‍රවණතාව දක්නට ලැබී ඇත.

නමුත් එලෙස සංක්‍රමණය වූවන්ගෙන් බොහොමයක් යළි බ්‍රිතාන්‍යයට ගොස් තිබුණේ අපේක්ෂා කළ මට්ටමේ ජීවිතයක් ඕස්ට්‍රේලියාව තුළ නොතිබීම නිසා බව ද එම පුවත් අනාවරණය කළේය.