රහස් පොලිස් භාරයේ සිටියදී  තවත් සංවිධානාත්මක  අපරාධකරුවෙක් මරුට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
මහා පරිමාණයේ අපරාධවලට සම්බන්ධ  ධර්මකීර්ති තාරක පෙරේදා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමග ආයුධ පෙන්වන්නට ගොස් ඊයේ (13) දින අළුයම් කාලයේ මීරිගම රේන්ද පොල දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්ව තිබේ.
විශේෂ මෙහෙයුමකට ඔහුය රැගෙන ගිය අවස්ථාවේදී සිිදුවූ යම් සිදුවීමකින් මෙම මරණය සිදුවූ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්ද තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.
මිනිස් ඝාතන, මංකොල්ල කෑම්, ගිනි අවි ජාවාරම් සහ මත්කුඩු ජාවාරම ආදී අපරාධ ගණනාවක් කොට බන්ධනාගාරගතව සිටි කොස්ගොඩ තාරක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාටත් බන්ධනාගාර නිලධාරීන් හමුවේ තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් සහ ගිනි අවි ඡාවාරමකක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් විශේෂ අධිකරණ නියෝගයකින් සිය භාරයට ගත්තේ ඉකුත් වසරේදීය.
තාරක බන්ධනාගාරයේ සිට දුරකතනයෙන් සිය ගෝලයින් මෙහෙයවමින් සිදුකළ මහා පරිමාණ ඡාවාරමක තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තේය. එහිදී හෙළිවූ තොරතුරු මත හමුදාවේ පිරිසක්ද ඇතුළුව එම ගිනි අවි ඡාවාරමට සසම්බන්ද සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ටී 56 අවි ඇතුළු ආයුධ 15 කට වැඩි ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගත්තේය. වසරකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටියේය. ගිනි අවි 100 කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් තොරතුරු ඔහු විසින් හෙළිකර තිබුණි පසුගිය කාලය පුරාම ඔහුව රදවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම ගිනි අවි සොයමින් සිටියේය.