ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දැවැන්ත මුල්‍ය කඩාවැටීම හමුවේ සියලු ගුවන් මෙහෙයුම් තාවකාලිකව නවතා දැමූ ඉන්දියාවේ ජෙට් එයාර්වේස් ගුවන් සමාගමෙන් රැකියා අහිමි වූවන්ගෙන් 500 දෙනකු වහාම බදවාගැනීමට ස්පයිස්ජෙට් ගුවන් සමාගම කටයුතු කර තිබේ.
අවම අයකිරීම් සහිත ගුවන් සමාගමක් වන ස්පයිස්ජෙට් ගුවන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ අජේ සිං නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මූලික වශයෙන් ජෙට් එයාර්වේස් ගුවන් සමාගම වසාදැමීමෙන් රැකියා අහිමි වූ ගුවන් නියමුවන් 100 දෙනෙක් ගුවන් කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් 200ක් සහ තාක්ෂණික නිලධාරීන් 200 දෙනකුට රැකියා සපයා ඇති බවයි.
ජෙට් එයාර්වේස් ගුවන් සමාගම වසා දැමීමෙන් රැකියා අහිමිවූවන්ගේ සංඛ්‍යාව 22000කට අධික ය.
තම ගුවන් සමාගම කඩිනමින් තවත් ගුවන් වාර දෙතුන් ගුණයකින් වැඩි කරන බව ද ඔහු පවසා තිබේ.
ඉන්දියාවේ ප්‍රධානතම ගුවන් සමාගම වන ජෙට් එයාර්වේස් සමාගම ගුවන් මෙහෙයුම් නවතා දැමීමෙන් අසීරුවට පත් මගීන්ට කඩිනමින් ආසන වෙන්කරවා ගැනීමට ද පහසුකම් සලසන බව ඔහු පවසා තිබුණි.
මේ අතර ඉන්දීය බැංකු සේවක සංගම් විසින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ඉල්ලීමක් කර ඇත්තේ බරපතළ මුල්‍ය අර්බුදයකට ලක්ව කඩාවැටී තිබෙන ජෙට් එයාර්වේස් ගුවන් සමාගම ආණ්ඩුව යටතට පවරා ගන්නා ලෙසයි.
22000ක පමණ සේවකයින් පිරිසක් මහමගට ඇදදමින් නවතා දැමුණු මෙම ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් යළි ඇරඹීම සදහා එම සමාගමට ණය නිකුත් කරන ලෙස බැංකු වෙත බලපෑම් නොකරන ලෙස සමස්ත ඉන්දීය බැංකු සේවකයන්ගේ සම්මේලනය විසින් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ජෙට් එයාර්වේස් ගුවන් සමාගම පෙරේදා නිවේදනය කර තිබුණේ සිය මෙහෙයුම් නතර කිරීමට හේතුවූයේ බැංකු කිහිපයක් විසින් තම සමාගමේ මෙහෙයුම් පවත්වාගෙන යාම සදහා ඉන්දීය රුපියල් කෝටි 400ක හදිසි ණය මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම බවයි.
එම ගුවන් සමාගමට ඉන්දීය රුපියල් කෝටි 8500ක පමණ ණය ගොන්නකට මැදිවී සිටියි.
මෙහි 51%ක වැඩිම කොටස් හිමි නරේෂ් ගෝයාල් පවසා තිබුණේ සමාගම පවත්වාගෙන යාම මෙන්ම කොටස් විකුණා දැමීමට ද හිසරදයක් බවයි.


