ශ්‍රී ලංකාවෙන් කටාර් යන අයට දින 2ක නිරෝධායනය අනිවාර්යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් හයක සිට පැමිණෙන මගීන් සඳහා කටාර් සිය සංචාරක ප්‍රතිපත්තිය යාවත්කාලීන කර තිබේ.

ඔවුන් සඳහා දින දෙකක හෝටල් නිරෝධායනය සහ අනතුරුව පීසීආර් පරීක්ෂණය ඍණාත්මක වීම අනිවාර්ය කර ඇත.

ඊයේ (02) සිට බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය,  පිලිපීනය, ශ්‍රී ලංකාව වැනි රටවලින් පැමිණෙන කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ සහ පූර්ණ එන්නත්කරණයට ලක්වු සංචාරකයින් දින දෙකක හෝටල් නිරෝධායනයකට ලක් කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වෛරසය හඳුනා ගන්නා PCR පරීක්‍ෂණයේ ප්‍රතිඵලය ඍණාත්මක වුවහොත් එම මගීන්ට නිරෝධායනයෙන් ඉවත් වීමට අවසර දෙනු ඇත.

මෙම රටවල සිට පැමිණෙන අනෙකුත් සංචාරකයින්ට දින 10 ක් සඳහා හෝටල් නිරෝධායනය වීමට සිදු වන බව අමාත්‍යාංශය පවසයි.

පසුගිය මාසයේදී කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ සංචාරක සහ පවුල් සඳහා ඇතුළුවීමේ වීසා බලපත්‍ර ලබා දීම නැවත ආරම්භ කරන බවයි.