ගුරු-විදුහල්පති වැටුප් තීරණය අද! විසඳුම් නැතොත් කොළඹට රථ පෙළපාලියක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත්කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (2) දිනයේ යළි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව විෂයභාර අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් එය සාකච්ඡා කිරීම සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කළ අතර ඒ අනුව එම පත්‍රිකාව ඊයේ දිනයේ යළි සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍යවරයා සමග ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතර පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබුණේ මේ සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව ගුරුවරුන් විසින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මේ වනවිටත් ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත් මෙවැනි පසුබිමක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු අධ්‍යාපන, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල ඊයේ (02) දිනයේ සිට සේවයට වාර්තා කළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව අද සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබුණත් ගුරු – විදුහල්පති සංගම් අරම්භ කළ වර්ජනය ඊයේ  22 වන දිනටත් ක්‍රියාත්මක විය

මෙම චක්‍රලේඛය නිකුත් කිරීම සම්බන්ධයෙන් ඊයේපෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් අපි කොළඹට රථ පෙළපාලියකින් ගමන් කරන බවය.