රට පුරා පැතිරෙන උද්ඝෝෂණ රැල්ල නිසා කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වෙලා – බුද්ධි අංශ හෙළිකරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගතවූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති බවත් මේ සෑම උද්ඝෝෂණයක් සඳහා අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්දන විශේෂඥ කමිටු රැස්වීමේදී බුද්ධි අංශ විසින් අනාවරණය කරනු ලැබ ඇත .

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම්  රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇති බව බුද්ධි අංශ විසින් පෙන්වා දී ඇත.

කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී ඇත.

එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බවයි ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී  අවධාරණය කර ඇත ..

රෝහල් මට්ටමෙන් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන් සෘජුව මැදිහත් වන ලෙසට ද මෙහිදී ජනාධිපතිවරයා  විසින් උපදෙස් දෙනු ලැබ ඇත

තෙවන මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම් වුවත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සහාය අවම වීම කණගාටුදායක බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පෙන්වා දී ඇත .