සිංදු කියද්දී-කතා කරද්දීත් කොවිඩ් අවදානම ඉහළයි – නවතම පර්යේෂණයකින් හෙළිවෙයි

Picture of අසංක

අසංක

කතා කිරීමෙන් හා ගායනයෙන් මෙන්ම හුස්ම ගැනීමෙන් ද නිපදවන සියුම් බිඳිති, රළු බිඳිතිවලට වඩා SARS-CoV-2 පිටපත් වැඩි ප්‍රමාණයක් අඩංගු බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

එබැවින් මෙරට තුළ වැඩිහිටි ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් එන්නත් කරන තුරු විශාල ගෘහස්ථ රැස්වීම්, ගායන හා කතාකිරීමේ රැස්වීම් ආදිය ද මේ මොහොතේ නැවැත්විය යුතු බව සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නේ මෙරට වැඩිහිටි ජනගහනයට 2 වන මාත්‍රාවෙන් සති 2 කට පසු වනතෙක් හෝ මෙම රැස්වීම් නැවැත්විය යුතු බවය.

එබැවින් SARS-CoV-2 සම්ප්‍රේෂණයේදී සැලකිය යුතු කාර්යභාරයක් ගායනය හා කතා කිරීමේදී සිදුවන බව හෙළි වී ඇතැයි ඇය කියි සිටී.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද එම අධ්‍යයනයේ සඳහන් කර ඇත්තේ සියුම් බිඳිතිවලට විශේෂයෙන් ගෘහස්ථව නිරාවරණය වීම හැකිතාක් අවම කළ යුතු බවයි.

SARS-CoV-2 ශ්වසන බිඳිති සහිත වායු සමීකරණ කළ ඉඩක් තුළ ගත් සාම්පල යොදාගෙන මෙම අධ්‍යයනය කර ඇත.

විශේෂඥයින් විසින් වෛරස් සාන්ද්‍රණය, පැතිරීම මැනීම සඳහා COVID-19 රෝගීන් විනාඩි 30 ක් හුස්ම ගැනීමේදී, විනාඩි 15 ක කතා කිරීමේ සහ විනාඩි 15 ක ගායනයේදී විමෝචනය කරන ලද බිඳිති පරීක්ෂා කරමින් මෙම අධ්‍යයනය කර තිබේ.

මෙරට තුළ ගෘහස්තව රියැලිටි වැඩසටහන්, රූපවාහිනී, ගුවන් විදුලි ආදියෙ තවදුරටත් ගෘහස්ත ගායන වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා ආදිය පැවැත්වෙන අතර ඒවා පටිගත කරන අවස්ථාවේදී මුඛ ආවරණ භාවිත නොකරනුයේ තාක්ෂණික හා රූපමය ගැටලු හේතුවෙනි.

නමුත් මෙම නවතම අධ්‍යයනයට අනුව එම වැඩසටහන් තුළ ද කොවිඩ් පැතිරීම දායක වන ස්ථාන බවට විශේෂඥයෝ කරනු ලබන කරුණු විශ්ලේෂණයෙන් පෙනී යයි.