නිවෙස් ප්‍රතිකාර වෙත යොමුවී සිටි කොවිඩ් රෝගීන් සංඛ්‍යාවත් පහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නිවෙස් ප්‍රතිකාර සඳහා  යොමුවී සිටින කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ගතවූ සතිය තුළ සැලකිය යුතු මට්ටමින් අඩුවී ඇති බව පවුල් වෛද්‍ය විද්‍යා, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ප්‍රකාශ කර සිටී ..

මේ දක්වා එම වැඩසටහනට අදාළව කොවිඩ් රෝගීන් 85,509 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර මේ වනවිට ඉන් ආසාදිත තත්ත්වයේ පසුවන්නේ රෝගීන්  8,552 දෙනෙකු පමණකි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපයට සාපේක්ෂව කොවිඩ් ආසාදිතයින්, මරණ හා අසාධ්‍ය තත්ත්වයට පත්වන ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 50% කින් පමණ අඩු වී ඇති බවය

සෞඛ්‍ය අමාත්‍යංශයේ  තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ රෝහල් තුළ කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර තිබූ සමස්ත ඇඳන් ප්‍රමාණයෙන් 50%කට වැඩි සංඛ්‍යාවක් ද මේ වන විට හිස්ව පවතින බවය.

මේ අතර, කොවිඩ් 19 ආසාදිතයින් 1,159 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර අඛණ්ඩව පස්වන දිනටත් දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1,500 සීමාවට වඩා අඩු වී තිබුණි.

ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 512,531 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,609 දක්වා ඉහළ ගොස් ඇත.