චීන කොවිඩ් එන්නතේ ප්‍රතිශක්තිය මාස තුනකට පසුවත්, ශක්තිමත්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ නිෂ්පාදිත  සයිනොෆාම් එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ ශරීරයේ කොරෝනා වයිරසයට එරෙහිව සටන් වැදීමේ ශක්තිය අඛණ්ඩව දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පරීක්ෂණයකින් අනාවරණයවී ඇත.

එම  එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගෙන සති 12 ක් ගිය පසුවද ශරීරයන්හි ටී සෛල කොරෝනා වයිරසය ආගන්තුක දේහයක් ලෙස සලකා සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වා තිබූ බවද එම පරීක්ෂණය මගින් හෙළිදරව්වී ඇත.

කෙසේ වෙතත්මේ පරීක්ෂණය සම්බන්ධයෙන් අදහස් පළ කරන එම අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ සියලුම වයස් කාණ්ඩවලට එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය කල්යත්ම අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

වයිරසයට එරෙහිව ප්‍රතිදේහ ජනනය වීම විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන අතර  එම පරීක්ෂණය මගින් තහවුරුවී ඇති බවද ඒ මහතා පැවසීය .

කෙසේ වෙතත් ප්‍රතිශක්තිය දුර්වලවීම හමුවේ රෝහල් ගත කිරීම සහ රෝගය බරපතළ තත්වයට පත්වීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව එම පර්යේෂණ කණ්ඩායමේ අදහසවී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය සයිනොපාම් එන්නත මගින් ප්‍රතිදේහ ජනනයවීම සහ එම එන්නත ගත් පුද්ගලයන්ගේ ශරීරයන්හි ටී සෛල කොරෝනා වයිරසයට එරෙහිව දක්වන ප්‍රතිචාර පිළිබඳව මෙම පරීක්ෂණය මගින් සොයා බැලිණ.