මීගමුව සිද්ධියේ දෙදෙනකු අත්අඩංගුවට – තියුණු ආයුධ සොයන මෙහෙයුම් අඛණ්ඩව

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මීගමුව කොච්චිකඩේ, පෝරුතොට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි වූ කළහකාරි සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

බීමත්ව කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් පිරිසක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

කළහකාරි තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රි මීගමුවට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 7ට ඉවත් කර තිබේ.

මීගමුව, කටාන සහ කොච්චිකඩේ ප්‍රදේශවල ඊයේ යම් සිද්ධීන් කිහිපයක් මෙහිදී වාර්තා වී තිබූ අතර අතින් පයින් පහරදීමේ සිද්ධීන් 3ක් පිළිබඳ පොලීසියට පැමිණිලි ලැබී ඇතැයි හෙතෙම කියාසිටියි.

ඊයේ මීගමුවේ වූ සිද්ධියේදී කඩු ආදි තියුණු ආයුධ භාවිත නොවීම විශේෂයෙන් කැපීපෙනුණු බවත් මේ දිනවල තියුණු ආයුධ පොලීසිය වෙත භාරගැනීම හා ඒවා සොයා සිදුවන ආරක්ෂක අංශ මෙහෙයුම්වල යහපත් ප්‍රතිඵලයක් ලෙස එය දකින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියි.

මේ දිනවල කඩු, කිනිසි ආදි සොයාගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.