ගෝඨාභයට රට යන්න අවසර

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉෂාර රත්නකාර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 15 වනදා සිට 19 වනදා දක්වා කාලසීමාව තුළ විදේශ ගතවීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද අවසර ලබා දුන් බව අප වර්තාකරු පවසයි.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළේය.

මෙම නඩුව අද(07) කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉල්ලීමක් ඉදිරිපත් කරමින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තම සේවාදායකයාට මේ මස 15 වනදා සිට 19 වනදා දක්වා කාලසීමාව තුළ සිංගප්පූරුවට යාමට අවශ්‍ය ඇති බව කියා සිටියේය.

ඒ සඳහා දැනට අධිකරණය මගින් තම සේවාදායකයා වෙත පණවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන නියෝගයක් නිකුත් කරන මෙන් ද ජනාධිපති නීතිඥ සබ්රි මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරු විසින් ඉල්ලා සිටින කාලසීමාව තුළ ඔහුට විදේශ ගත වීමට අවසර ලබාදුන් අතර දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව ඔහු වෙත මුදා හරින මෙන් ද නියම කළේය.

ඒ අනුව අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

ඉකුත් රජය සමයේ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා, එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.