ඊබ්‍රහිම්ලාගේ වැල්ලම්පිටියෙ තඹ කර්මාන්තශාලාවෙන් කන්ටේනර් දෙකක බඩු අතුරුදන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ/රමේෂ් වරල්ලෙගම

ෂැංග්‍රිලා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රහිම්ට අයත්ව තිබු වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ තිබු කිසියම් ද්‍රව්‍ය තොගයක් සිදුවීමෙන් දින නවයකට පසුව කන්ටේනර් දෙකක පුරවා වෙනත් ස්ථානයට ගෙන ගොස් ඇත. අධිකරණ නියෝගයක් අනුව අදාල ස්ථානයේ තිබු භාණ්ඩ රාජසන්තක වීමට නියමිතව තිබියදී මෙසේ කන්ටේනර් දෙකක පුරවා රහසිගත ලෙස ගෙනගිය භාණ්ඩ මොනවාද? සහ එය කාගේ වුවමනාවට සිදුවුවක්ද යන්න ගැන ප්‍රදේශවාසීන්ගේ දැඩි සැකකයට හේතුවී තිබේ.

අදාල කර්මාන්තශාලාවට අඩි 40 කන්ටේනර් රථ ඇතුළත් කිරීමට නොහැකි තැන ඊට අයත් තාප්පයක්ද කඩා අවශ්‍ය ඉඩ ලබාගනිමින් මෙම ක්‍රියාදමය කර ඇත. මෙවැනි සැකකටයුතු යමක් සිදුවන බව අංගොඩ මුල්ලේරියාව සිවිල් ආරක්ෂක කමිටුවේ සහ වෙළද සංගමයේ සභාපති එන්.එන්.අයි පිංතු මහතා පොලිසියට සැල කර තිබේ. එසේ වුවද වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා එය නොඇසු කන්ව සිටිමින් තමන්ට තර්ජනය කළා විනා ඊට අවශ්‍ය නීතිමය පියවරක් නොගත් බව එන්.එන් අයි පිංතු මහතා සදහන් කරයි.

අදාල සිද්ධියෙන් දින දෙකකට පසුව කොළොන්නාව ප්‍රාදේශිය සභාවේ පැවැති කමිටු රැස්වීමට එක්වු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සමග පොලිස් ස්ථානාධිපතිවරයා සුහදව මේ පිළිබදව සාකච්ඡා කරමින් ඊට එරෙහිවු පිංතුලා තමන් මෙල්ල කළ බවට පුරාජෙරුවක්ද පැවැසු බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.,කෙසේ වෙතත් ඊබ්‍රහිම්ලාගේ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාව මේ වනවිට තවත් ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වු දින කිහිපයේ බෝම්බ නිෂ්පාදනය කළ බවට හදුනාගනිමින් ප්‍රචාරය වු අදාල කර්මාන්ත ශාලාවේ සේවකයන් අධිකරණයේ ඇප ලබා නිදහස් වීමයි.

වැල්ලම්පිටිය පොලිසිය අදාල සිද්ධියේදී කිසියම් සැකකටයුතු ආකාරයකට හැසිරුනේද යන්න ගැන මේ වනවිට පොලිස්පති නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.