ලොවම සුවපත් කල පින්බර වෙසක් පෝය අදයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ තෙමගුල ඇතුළු ශාසනික අවස්ථාවන් රැසක් සමරන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

පෝය 12 අතරින් ශ්‍රේෂ්ඨතම පෝය ලෙස සලකන මෙම වෙසක් පුර පසළොස්වක පෝය දින සිදුහත් බෝසතානෝ කිඹුල්වත් නුවර ලුම්බිණි සල්උයනේ දී මෙලොව උපත ලැබීම, ගිහිගෙය අතහැර ගොස් දුෂ්කර ක්‍රියා කර සම්මා සම්බුද්ධත්වයට පත්වීම සහ කුසිනාර නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේ දී මහා පරිනිර්වාණය පෑම සිදුවු බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

ලොව්තුරා බුදුරාජණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ අදවැනි වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝදායි. විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව ඉතිහාසයේ දැක්වෙයි.
බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් පිරිනිවන් පා වදාළේ ද අද වැනි වෙසක් ‍පෝ දිනකය.
ඔබ සැමටම තෙරුවන් සරණයි..!