ඉන්දු-පකිස්තාන ගැටුමෙන් දෙරටටම හානි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පකිස්ථානය පුරා “ස්ථාන ගණනාවක” ගුවන් ආරක්ෂක රේඩාර් සහ පද්ධති ඉලක්ක කරගත් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියාව පවසනවා.

“ලාහෝර් හි ගුවන් ආරක්ෂක පද්ධතියක් අක්‍රිය කර ඇති බවට විශ්වාසදායක ලෙස දැනගන්නට ලැබී තිබෙනවා,” යැයි ද එහි සඳහන් වුණා.

ඉන්දියාව මෙම පද්ධති ඉලක්ක කරගත් ආකාරය පිළිබඳ වැඩි විස්තර ප්‍රකාශයේ දක්වා නැහැ. නමුත් අප වාර්තා කරන අවස්ථාව වන විට , ඊයේ රාත්‍රියේ සිට ඉන්දීය ඩ්‍රෝන යානා 25ක් වෙඩි තබා බිම දැමූ බව පකිස්ථානය ප්‍රකාශ කර තිබෙනවා. තවද පකිස්ථානය ඉන්දියාවේ ස්ථාන ගණනාවකට “ඩ්‍රෝන යානා සහ මිසයිල” යවා ඇතැයි ඉන්දියාව සඳහන් කළා.


ඊයේ රාත්‍රියේ ඉන්දියාව විසින් විවිධ නගරවලට එවන ලද ඩ්‍රෝන යානා 25 ක් විනාශ කළ බව පකිස්ථාන බලධාරීන් පවසනවා.

මීට පෙර පකිස්ථාන හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්රි පැවසුවේ ඉන්දීය ඩ්‍රෝන යානා 12ක් විනාශ කළ බව.

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් අදහස් දක්වා නැහැ. ප්‍රතිචාරයක් ගැනීම සඳහා බීබීසී ඉන්දීය හමුදාවෙන් විමසීමක් කර තිබෙනවා.

ලාහෝර්, ගුජ්රන්වාලා, චක්වාල්, ඇටෝක්, රාවල්පින්ඩි, බහවල්පූර්, මියන්වාලි සහ කරච්චි යන ප්‍රදේශවලදී එම ඩ්‍රෝන යානා විනාශ කළ බව ලුතිනන් ජෙනරාල් චෞද්‍රි පැවසීය.

සින්ද් පළාතේ ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන් එක් සිවිල් වැසියෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ඇතැයි ද ඔහු පැවසුවා.

ලාහෝර්හි හමුදා කඳවුරක් ඉලක්ක කරගත් ප්‍රහාරයකින් හමුදා නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර යටිතල පහසුකම් කිහිපයක් විනාශ වී ඇති බව ඔහු සඳහන් කළා.