ලංකාවේ රෝගීන් , ඉන්දියාවේ පර්යේෂණාගාර මීයන් බවට පත්වෙලා!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලන ක්‍රම මගහරවමින් ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිත ඖෂධ භාවිත කර රෝගී ජීවිත හානි වීමක් සිදු වුවහොත් එහි වගකීම සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ඇතුළු බලධාරීන් භාර ගත යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ මීට පෙර හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්කැල්ල පාලන කාලයේදී මේ අන්දමට ගෙන්වන ලද ඖෂධ නිසා රෝගීන් මිය යන විට මෙරට රෝගීන් පර්යේෂණාගාර මීයන් හා ඌරන් බවට පත්කරන බවට චෝදනා කළ වර්තමාන ආණ්ඩුවේ ඉහළ දේශපාලකයන් සහ නිලධාරීන් විසින්ම නැවත වටයකින් ඊට සමාන ක්‍රියාවක් සිදු කරන බවය.

ඖෂධ නියාමන අධිකාරියේ හා රටේ පිළිගත් ප්‍රසම්පාදන මූලධර්ම උල්ලංඝනය කරමින් කැබිනට් පත්‍රිකාවක් හරහා ඉන්දියාවෙන් ඖෂධ 300 ආසන්න ප්‍රමාණයක් හදිසියේ ගෙන්වීමට හැකියාවක් නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.

දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමනාධිකාරියට එරෙහිව මීට පෙර ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු කටයුතු ක්‍රියාත්මක වන බැවින් එවැනි තත්ත්වයක් නොසලකා කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය ක්‍රියා කළහොත් සමස්ත කැබිනට් මණ්ඩලයම අධිකරණයට කැඳවිය හැකි බවද ඔහු පවසයි.

මෙසේ ගෙන්වීමට යෝජිත ඖෂධ අතර මෙරට නිෂ්පාදනය කරන ඖෂධ සැලකිය යුතු ප්‍රමාණයක් පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉන්දියාවෙන් ගෙන්වීමට යෝජිත ඖෂධ අතර ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ, නිර්වින්ද ඔෘෂධ, දියවැඩියාව ඇතුළු බෝනොවන රෝග සඳහා භාවිත කරන ඖෂධ, හෘද රෝගීන්ට භාවිත කරන ඖෂධ, කුඩා දරුවන්ට භාවිත කරන ඖෂධ, ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා භාවිත කරන ඖෂධ, නාරි හා ප්‍රසව රෝග සඳහා භාවිත කරන ඖෂධ, පිළිකා රෝග සඳහ භාවිත කරන ඖෂධ, ඉමීනොග්ලොබියුලින්, ජල භීතිකා එන්නත්, ඇතුළු ඖෂධ කාණ්ඩ රැසක් අඩංගු වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග අත්සන් කළ සෞඛ්‍ය ගිවිසුමෙහි පිටපතක් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තමන් ඉල්ලා මේ වන විට දින 14ක් ගත වී ඇතත් එය ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය මේ දක්වා අසමත්ව ඇති බවද වෛද්‍යවරයා සඳහන් කරයි.