දින කිහිපයක් තිස්සේ දේශසීමාවල හමුදා ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සටන් විරාමයකට එකඟ වූ බව ඉන්දියාව හා පකිස්ථානය ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු සටන් විරාමය “උල්ලංඝණය” කළ බවට එකිනෙකාට චෝදනා එල්ල කර තිබේ.
“අපි ඇති කර ගත්ත අවබෝධය දිගින් දිගට ම උල්ලංඝණය වුණා,” ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පිපිරීම් ශබ්ද ඇසීමෙන් පසු, ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පැවසුවේ ය.
ඉන් සුළු වේලාවකට පසුව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, “ඇතැම් ප්‍රදේශවල ඉන්දියාවේ [සටන් විරාම] උල්ලංඝණය කිරීම් නොතකා … සටන් විරාමය විශ්වසනීය ලෙස ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින,” බව ය.
පසුගිය දින හතර තුළ ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති වූ සටන්, දශක ගණනාවකට පසු දෙරට අතර ඇති වූ දරුණුතම මිලිටරි ගැටුම වේ.
පසුගිය මාසයේ පෙහෙල්ගාම්හි සිදුවූ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ විට ඩ්‍රෝන යානා, මිසයිල සහ කාලතුවක්කු භාවිතය ආරම්භ විය. පෙහෙල්ගාම් ප්‍රහාරයට තමන් කිසි ම ආකාරයේ සම්බන්ධතාවක් නොමැති බව පවසමින් පකිස්ථානය චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.
දේශසීමාවල ගැටුම්වලින් දින 4කට පසුව, ඔවුන් පූර්ණ සහ ක්ෂණික සටන් විරාමයකට එළැඹුණු බවට ඉන්දියාව සහ පකිස්ථානය නිවේදනය කළේ ය.
සෙනසුරාදා උදෑසන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පුවත ඔහුගේ Truth සමාජ මාධ්‍ය වේදිකාවේ සටහන් කර තිබිණි. එහි මැදිහත්කරුවා එක්සත් ඇමෙරිකා එක්සත් ජනපදය බවට ඔහු ප්‍රකාශ කළේ ය.
පසුව පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් රටවල් දෙක සටන් විරාම ගිවිසුමට එළැඹ ඇති බව තහවුරු කළ අතර, “රටවල් දුසිම් තුනක්” එහි රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට සම්බන්ධ වූ බව පැවසීය.
නමුත් නිවේදනයෙන් පැය කිහිපයකට පසු, ඉන්දියාවේ පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රධාන නගර වන ශ්‍රී නගර් සහ ජම්මුහි ජීවත් වන පුද්ගලයින් සහ බීබීසී වාර්තාකරුවන් විසින් වාර්තා කළේ පිපිරීම් ශබ්ද ඇසුණු බවත් අහසේ දැල්වීම් දුටු බවත් ය.
ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මෙලෙස පැවසීය: “පහුගිය පැය කිහිපය ඇතුළේ අද හවස අපි එකඟ වුණු අවබෝධය දිගින් දිගට ම උල්ලංඝණය කරලා.”
“මේක අපි අද කලින් ඇති කර ගත්ත අවබෝධය උල්ලංඝණය කිරීමක්.”
ඉන්දියාවේ සන්නද්ධ හමුදා මේ සම්බන්ධයෙන් “සුදුසු ප්‍රතිචාරයක් ලබා දෙනු ඇති” බව මිස්රි පැවසූ අතර, “මේ සටන් විරාමය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පකිස්ථානයෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙන් පවසමින් ඔහු මාධ්‍ය හමුව අවසන් කළේ ය.
එයට ප්‍රතිචාර වශයෙන් පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු මෙසේ පැවසීය: “අද දවසේදී කලින් ප්‍රකාශයට පත් කරපු පකිස්ථානය සහ ඉන්දියාව අතර සටන් විරාමය විශ්වාසවන්තව ක්‍රියාත්මක කිරීමට පකිස්ථානය කැපවෙලා ඉන්නවා.”
“සමහර ප්‍රදේශවල ඉන්දියාවෙන් [සටන් විරාම] උල්ලංඝණය කිරීම් කළත් ඒවා නොසලකා, අපගේ හමුදා වගකීමෙන් හා සංයමයෙන් යුතුව තත්ත්වය හසුරුවනවා.”
“සටන් විරාමය සුමට විදිහට ක්‍රියාත්මක කරන්න යද්දී ඇති වන ඕනෑ ම ගැටලුවක් සුදුසු මට්ටම්වල සන්නිවේදනයක් හරහා විසඳ ගන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා.”
“භූමියේ ඉන්න භට පිරිස්වල අයත් සංයමයෙන් කටයුතු කරන්න ඕනේ.”

කාශ්මීරය සම්පූර්ණයෙන් ම තමන්ට අයත් බවට ඉන්දියාව සහ පකිස්ථානය ප්‍රකාශ කළ ද, 1947 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එම රටවල් බෙදී ගිය දින සිට එක් එක් රාජ්‍යයන්ට කාශ්මීරයේ බලය හිමි ව ඇත්තේ අර්ධ වශයෙනි.
එය මෙම න්‍යෂ්ටික අවි හිමි රටවල් දෙක අතර ගැටුම්කාරී ප්‍රදේශයක් බවට පත්ව ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් යුද්ධ දෙකකට මැදි වී තිබේ.
සටන් විරාමය තහවුරු කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පැවසුවේ, දෙරට අතර “වෙඩි තැබීම් නැවැත්වීම සහ හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන,” තිබෙන බව ය.
“ත්‍රස්තවාදයේ සියලු ම ආකාරවලට එහි ප්‍රකාශනයන්ට එරෙහිව ඉන්දියාව ස්ථිර සහ කිසිදු බුරුලක් නොදක්වන ස්ථාවරයක් අඛණ්ඩව පවත්වාගෙන ගොස් තියෙනවා. එක ඉදිරියටත් සිද්ධ වෙනවා,” ඔහු තවදුරටත් පැවසීය.
පසුව ජාතිය අමතමින් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් පැවසුවේ, “සියලු දෙනාගේ ම ප්‍රයෝජනය සඳහා” සටන් විරාමයකට එළැඹ ඇති බව ය.
සටන් විරාම නිවේදනයෙන් පසුව අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ, මධ්‍යස්ථ ස්ථානයක සිට පුළුල් පරාසයක කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ඉන්දියාව සහ පකිස්ථානය එකඟ වී ඇති බව ය.
තමා සහ ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, දෙරටේ අගමැතිවරුන් වන නරේන්ද්‍ර මෝදි සහ ෂෙබාස් ෂරීෆ් ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉන්දීය සහ පකිස්ථාන නිලධාරීන් සමග පැය 48ක් ගෙවූ බව ඔහු පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ, “ගැටුම සමනය කරන්න ගන්නා හැම උත්සහයක් ම” තමන් සාදරයෙන් පිළිගන්නා බව ය.
බ්‍රිතාන්‍යය “දින කිහිපයක් තිස්සේ” සාකච්ඡාවල “නියැලී සිටින” අතර, විදේශ ලේකම් ඩේවිඩ් ලැමී දෙපාර්ශ්වයට ම කතා කළ බව එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර් පැවසුවේ ය.
“අද සටන් විරාමයක් දකින්න ලැබීම ගැන මම සතුටු වෙනවා,” කියර් පැවසීය. “දැන් කරන්න තියෙන්නේ ඒක දිගට ම සහ කාලයක් පවතින බවට සහතික කරන එක.” සංචාරක ගමනාන්තයක් වන පෙහෙල්ගාම්හි සංචාරකයින් 26 දෙනෙකු ඝාතනය කිරීමෙන් සති දෙකක අවිනිශ්චිතතාවකින් පසුව මෑත කාලීන සටන් ආරම්භ විය.
ඉන්දියානුවන් 25 දෙනෙකු සහ එක් නේපාල ජාතිකයෙකු ඝාතනය කරමින් අප්‍රේල් 22 වන දින ඉන්දියාව විසින් පාලනය කරන කාශ්මීරයේ සිදුවූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය පැවසුවේ, සටන්කාමීන් හින්දු පිරිමින් ඉලක්ක කළ බව ය.
මේ සතියේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ප්‍රහාරයට වගකිව යුතු අය “වගවිය යුතු” බවට පත් කිරීම මෙම “කැපවීමේ” කොටසක් බව ය. පකිස්ථානය ඒවා විස්තර කළේ “කුපිත නොවන දේවල්” ලෙස ය.
බදාදා සිට ඉන්දීය ගුවන් ප්‍රහාර සහ දේශසීමාවල වෙඩි තැබීම් හේතුවෙන් පකිස්ථානයේ සහ පකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් ඇති බව පකිස්ථානය ප්‍රකාශ කළ අතර, පකිස්ථාන ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 21 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය හමුදාව වාර්තා කළේ ය.
සිකුරාදා රාත්‍රියේ සටන් උත්සන්න වූ අතර, දෙරට ගුවන් කඳවුරු සහ අනෙකුත් හමුදාවට සම්බන්ධ ස්ථාන ඉලක්ක කර පහර දුන් බවට එකිනෙකාට චෝදනා කර ගත් හ.