දරුවන්ට දඬුවම් කල යුතුද?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශාරීරික දඬුවම්වලට එරෙහි කෙටුම්පතේ ඇත්තේ මොනවා ද? එහි ඔබේ දරුවන්ගේ යහපතට බලපාන ‘බරපතළ සංවේදී කරුණු’ තිබේ ද?

දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා සැප්තැම්බර් 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

එය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ, 2025 අගෝස්තු 19 වන දා ය.

දෙවන වර කියවීමේ විවාදය උණුසුම් මුහුණුවරක් ගත් අතර, සංශෝධිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධය පළ විය.

කෙටුම්පතේ සඳහන් සංශෝධන මොනවා ද?
‘ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම’ යටතේ, 308 වන වගන්තිය සංශෝධනය කිරීමට මෙහිදී යෝජිත ය.

ඒ අනුව, 308ආ ‘වයස අවුරුදු 18කට අඩු යම් තැනැත්තෙකුගේ භාරකාරත්වය, භාරය හෝ ආරක්ෂකත්වය දරා සිටිමින් –
(අ) දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් හෝ නිවැරදි කිරීමේ ක්‍රමයක් වශයෙන්, කෙතරම් අඩු වුව ද, යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇති වීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික බලය භාවිත කරනු ලබන යම් ක්‍රියාවක් සිදු කරන; හෝ

(ආ) කෙතරම් අඩු වුව ද, යම් ප්‍රමාණයක අවමානයක් ඇති වීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික නොවන යම් ක්‍රියාවක් සිදු කරන, කවර හෝ තැනැත්තෙකු ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කරන්නේ ය.

දඬුවම්
නව සංශෝධනය අනුව, ‘ළමයින් සම්බන්ධයෙන් ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කරන කවර හෝ තැනැත්තෙකුට වරදකරු කරනු ලැබීමේදී මාස හයක් නොඉක්මවන්නා වූ කාලයකට බන්ධනාගාරගත කිරීමකින් හෝ රුපියල් ලක්ෂයක් දක්වා දීර්ඝ කරනු ලැබිය හැකි දඩයකින් හෝ එම බන්ධනාගාරගත කිරීම හා දඩය හෝ යන දෙකින් ම දඬුවම් කරනු ලැබිය යුතු’ ය.

ඊට අමතරව, ශාරීරික වශයෙන් හෝ මානසික වශයෙන් අශක්නුතාවක් සහිත වයස අවුරුදු දහ අටකට අඩු යම් තැනැත්තෙකු සම්බන්ධයෙන්,

ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කෙරෙන කවර හෝ තැනැත්තෙකුට වරදකරු කරනු ලැබීමේදී මාස හයකට නොඅඩු වූ ද, අවුරුදු දෙකක් නොඉක්මවන්නා වූ ද, කාලයකට බන්ධනාගාරගත කිරීමකින් හෝ රුපියල් ලක්ෂයක් දක්වා දීර්ඝ කරනු ලැබිය හැකි දඩයකින් හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දෙකින් ම දඬුවම් කරනු ලැබිය යුතු’ ය.

දරුවෙකුගේ අයිතිය ඇත්තේ කාට ද?
මෙම සංශෝධන පිළිබඳව හඳුන්වා දීමක් කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් ප්‍රකාශ කළේ, “දරුවෙකුගේ පූර්ණ අයිතිය ඇත්තේ, එම දරුවා ජීවත් වන ප්‍රදේශයේ දිසා විනිසුරුවරයාට යි. ඒ නිසා මව්පියන් හැටියට අපටවත්, ගුරුවරුන්ටවත්, ඥාතීන්ට, කිසිවෙකුට තවත් පුද්ගලයින් හැටියට, තවත් ජීවියෙක් හැටියට දරුවෙකුව හිංසාවට පමුණුවන්න, කෲරත්වයට පමුණුවන්න හැකියාවක් නැහැ,” යනුවෙනි.

ඇය පැවසූ පරිදි 2013 වසරේ සිට කෲරත්වය පිළිබඳ පැමිණිලි වසරකට 2000 ඉක්මවා හෝ ඊට ආසන්න අගයක් ගනී.

ඇය පෙන්වා දුන්නේ, ශාරීරික දඬුවම්වලින් ලැබුණු යහපත් ප්‍රතිඵලවලට වඩා අයහපත් (ප්‍රතිවිපාක) වැඩි බව මේ වන විට හඳුනාගෙන ඇති බව ය.

‘බරපතළ සංවේදී කාරණා තියෙනවා’ – නීතිඥ අජිත් පී. පෙරේරා
මෙම සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළේ, ශාරීරික දඬුවම් සම්පූර්ණයෙන් ම නතර කළ යුතු ය යන්න විවාදයකින් තොරව පිළිගන්නා නමුත්, මෙම පනත් කෙටුම්පතෙහි බරපතළ සංවේදී කාරණා ඇති බව ය.

“ඔබතුමිය කිව්වා උදාහරණයක් ගැහැනු ළමයෙක් කොටට ඇඳගෙන ආවොත් පාසලට වාටිය දික් කළා ම ප්‍රශ්නයක් තියෙනවා. ගෑනු ළමයෙක් පාට පාටින් කියුටෙක්ස් ගාගෙන පාසලට ආවොත්, නොගැලපෙන සපත්තු දාගෙන ආවොත්, ඒ පාසලේ ශිෂ්‍ය නායකයින්, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, විනය පාලකයින් කටයුතු කරනවා. මෙච්චර කල් කළා. ඒ වැඩේ කරන්න ඕනෙ. ගරු ඇමතිතුමියනි, ඔබතුමිය දැන හෝ නොදැන මේ ඉදිරිපත් කරන පනත් කෙටුම්පතේ 308අ (ආ) වගන්තියේ තියෙන මේ කොතරම් අඩු වුව ද, යම් ප්‍රමාණයක අවමානයක් ඇති වෙන ශාරීරික හිංසන සිදු කරන බව කියන මේ අර්ථ නිරූපණ ඕනෑවට වඩා පුළුල් වැඩි යි. මේ අර්ථ නිරූපණය තුළ ළමයෙකුට පන්තියේ ලකුණු ප්‍රමාණය අඩු වුණොත්, මහන්සි වෙන්න කියල කිව්වත් අවමානය කියල කියන්න පුළුවන් කනෙකුට.”

ඔහු ඉල්ලා සිටියේ, ‘අවමානය’ සහ ‘සද්භාවය’ යන වචනවලට නිසි අර්ථ නිරූපණයක් ලබා දිය යුතු බව ය.

සද්භාවයෙන් යුතුව යම් ක්‍රියාමාර්ග ගන්නා ගුරුවරුන්ට හෝ දෙමාපියන්ට නීතිමය සහනයක් සලසා දීම සඳහා ‘සද්භාවය’ යන්න කෙටුම්පතට ඇතුළත් කරන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේ ය.

‘බොරු බිල්ලන් මවන්න එපා’ – ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේ, ‘අවමානය’ යනු කුමක් ද? යන්නට නිසි අර්ථ නිරූපණ රැසක් පවතින බව ය.

“අපිත් පාර්ශවකරුවන් වන ළමා අයිතිවාසිකම් කමිටුව (CRC) 42 වන සෙෂන් එකේ ජෙනරල් කමෙන්ට් නම්බර් 8 මම කියවන්නම්, ‘දරුවන් හෑල්ලු කරන, අවමානයට ලක් කරන, පළිගන්න, තර්ජනය කරන, බිය ගන්වන හෝ සම්ච්චල් කරන ඒව තමයි මේ මානසික හිංසනය කියන්නෙ.”

ඇය පැවසුවේ, “ඒ නිසා බොරු තර්ක මවන්න එපා, බොරු බිල්ලන් මවන්න එපා,” යනුවෙනි.

ගුරු සංගම්වල කණස්සල්ල
මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් අපැහැදිලි කරුණු පවතින බවට ගුරු සංගම් ද චෝදනා කළේ ය.

මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ, “ශාරීරික නොවන ක්‍රියා කිව්ව ම ඒවා මොනව ද? අර්ථ නිරූපණ හරියට නැති තත්ත්වයන් තුළ ගුරුවරුන් තුළ තැති ගැන්වීම සාධාරණ යි. දඬුවම් නොදී දරුවන් කොහොම ද රැක බලා ගන්නේ? ඒ සඳහා කරන ක්‍රමවේද මොනවා ද? ඒ සඳහා කරන උපදේශන ක්‍රියවලිය මොකක් ද? කොහොම ද ඒවා වෙන්නේ? කියන කරණා රජය පැත්තෙන් පැහැදිලි දැනුවත් කිරීමක් ගුරුවරුන් තුළට එන්න ඕනේ,” යනුවෙනි.

ජාතික එකමුතු ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් රමිත් විජේසිරි ද මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දක්වා තිබිණි.

“අපි දන්නවා පාසල්වල ප්‍රමාද වෙලා පැමිණෙනවා සිසුන්. ඒ සිසුන් ප්‍රමාද වෙලා පැමිණෙනකොට විදුහල්පතිතුමා විසින් අදාළ විනය භාර ගුරුවරයාට කියනවා මොවුන්ව රඳවා තබා ගන්න, පෝලිම්ගත කරන්න. එතකොට ඒ පෝලිම්වලට ලක්වෙන දරුවා කිව්වොත් මම මේ තත්ත්වය නිසා අවමානයට ලක්වුණා, මං අනිත් ළමයි ඉදිරියේ මට විශාල ගැටලුවක් ඇති වුණා මේ ක්‍රියාව තුළින් කියලා, ඒ ක්‍රියාවට භාජන වෙච්ච අර ගුරුවරයාට සිද්ධ වෙනවා මාස 6ක සිර දඬුවම් ලබාගන්න.”

ශාරීරික දඬුවම් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය
‘දරුවන්ට ශාරීරික දඬුවම් ලබා දීම නිවෙස්වල සහ පාසල්වල බහුලව දක්නට ලැබේ. ගෝලීය වශයෙන්, සෑම වසරක ම වයස අවුරුදු 0-18 අතර ළමුන් බිලියන 1.2ක් පමණ නිවසේදී ශාරීරික දඬුවම්වලට ලක්වන බවට ගණන් බලා ඇති,’ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ ඉලක්ක කිහිපයක ම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම ඉල්ලා සිටින අතර, වඩාත් පැහැදිලිව ම 16.2 වගන්තියෙහි: “අපයෝජනය, සූරාකෑම, ළමා ජාවාරම් සහ ළමයින්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ වධහිංසා පැමිණවීම අවසන් කරන්න” යනුවෙන් සඳහන් කර තිබේ.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අධීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කමිටුව (UN Committee on the Rights of the Child) ශාරීරික දඬුවම් අර්ථ දක්වා ඇත්තේ, “කෙතරම් සුළු වුව ද, ශාරීරික බලය භාවිත කර යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇති කිරීමට අදහස් කරන ඕනෑ ම දඬුවමක්,” ලෙසිනි.

එම කමිටුවට අනුව, බොහෝදුරට ළමයින්ට අතින් හෝ උපකරණයකින් (කස, කෝටුව, පටිය, සපත්තුව, ලී හැන්දක් හෝ ඒ හා සමාන) පහර දීම ඇතුළත් වේ, නමුත් එයට උදාහරණයක් ලෙස ළමයින්ට පයින් ගැසීම, සෙලවීම හෝ විසි කිරීම, සීරීම, ඇණ ගැසීම, සපා කෑම, හිසකෙස් ඇදීම හෝ කන් මිරිකීම, ළමයින් අපහසුතාවට පත් ස්ථානවල රැඳී සිටීමට බල කිරීම, පිළිස්සීම හෝ බලහත්කාරයෙන් යමක් ශරීරගත කිරීම ද ශාරීරික දඬුවම් යටතට ගැනේ.

අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ, ශාරීරික දඬුවම් වාර ගණන වැඩි වන විට ළමා ආක්‍රමණශීලීත්වය සහ ගණිතයට සහ කියවීමට ඇති හැකියාව අඩු වන බව ය.

ඊට අමතරව, ශාරීරික හිංසන හරහා ළමුන්ගේ පෞරුෂත්වය, නිර්මාණශීලීත්වය, මානසික ශක්තිය ආදී ධනාත්මක තත්ත්වයන් හීන වන බව විශේෂඥයින්ගේ අදහස යි.

‘දඬුවම් නොකර දරුවන් හදන්න ක්‍රම තියෙනවා’
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මුල් ළමා විය සංවර්ධන වැඩසටහන්වලට අනුයුක්තව සේවය කරන වෛද්‍ය නුවන් තොටවත්ත පෙන්වා දුන්නේ, දඬුවම් නොකර දරුවන් හැදීමට ක්‍රම ඇති බව ය.

“දරුවෙක් හදන්න දඬුවම් දෙන්න ඕන නෑ. දඬුවම් කිරීම වෙනුවට හරි වැරදි දේ පහදලා දෙන්න තවත් දියුණු ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ ක්‍රම සංවර්ධිත රටවල අනුගමනය කරනවා. ෆින්ලන්තය වගේ රටවල දඬුවම් දීම වෙනුවට හොඳ හැසිරීම්වලට රිවෝඩ්ස් දෙන ක්‍රමවේදය වගේ උපක්‍රම තියෙනවා. ඒ වගේ දේවල්වලින් ළමයින්ට පාසල් යන්න ආශාවක් ඇති වෙනවා.”

ඔහු අවධාරණය කළේ, “දඬුවම් දීමෙන් සාර්ථක වුණු පුද්ගලයින් ඉන්නවා කියන මතය සනාථ කරන්න කිසි ම සාක්ෂියක් නෑ. ඒ නිසා ඒක දරුවන් යහ මගට ගන්න අනුගමනය කරපු වැරදි ක්‍රමයක්. ඒ ක්‍රම දැන් වෙනස් වෙලා දැන් පිළිගන්න ක්‍රමය තමයි, නරක දේට දඬුවම් කිරීම වෙනුවට, හොඳ දේ අගය කිරීම.”