ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)සිදුකල පර්යේෂණයකට අනුව, 2025 වසර ආරම්භය වනවිට , ගෝලීය වශයෙන් වයස අවුරුදු 10ත් 19ත් අතර නව යොවුන් වියේ පසුවන දරුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙක් මානසික ආබාධයකින් පෙළෙයි.
අවශ්‍යතා තිබියදීත්, බොහෝ පිරිමි ළමයි සහ තරුණයෝ ඔවුන්ට ලබා ගත හැකි මානසික සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ නොවෙති
විෂාදය, කාංසාව සහ හැසිරීම් ආබාධ වඩාත් සුලභ ආබාධ බව එමගින් සොයා ගෙන ඇති අතර, වයස අවුරුදු 15-29 අතර පසුවන පුද්ගලයින් අතර මරණයට තුන්වන ප්‍රධාන හේතුව සියදිවි නසා ගැනීම බව ද සොයාගෙන තිබේ.

ලාන්සට් මනෝචිකිත්සක කොමිසමට අනුව, සියලු ම මානසික සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් 75%ක් දක්වා ප්‍රමාණයක් වයස අවුරුදු 25ට පෙර ආරම්භ වන අතර බොහෝ විට වයස අවුරුදු 15දී ඒවා ආරම්භ වීමට වැඩි ඉඩක් තිබේ. අද, වෙන කවරදාටත් වඩා තරුණයන් ශාරීරිකව සෞඛ්‍ය සම්පන්නව සිටින බව පෙනුනත් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත් කල ඔවුහු අරගල කරමින් සිටිති. එම සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර එය මෙම කාලය තරුණ මානසික සෞඛ්‍යයේ “භයානක අවධියක්” බවට පත් කරයි.
නමුත් අවශ්‍යතාවක් තිබියදීත්, බොහෝ පිරිමි ළමයි සහ තරුණයෝ ඔවුන්ට ලබා ගත හැකි මානසික සෞඛ්‍ය සේවා භාවිත නොකරති.
“පසුගිය වසර 15-20 දක්වා කාලය තුළ, පිරිමි ළමයින් හා ගැහැනු ළමයින් යන දෙපාර්ශවයේ ම මානසික සෞඛ්‍ය ගැටලුවල භයානක වැඩිවීමක් අපි දැකලා තියෙනවා. නමුත් පිරිමි අය උදවු ඉල්ලනවා අඩුයි,” ඔස්ට්‍රේලියාවේ National Centre of Excellence for Youth Mental Health නමැති ආයතනයේ මනෝචිකිත්සක සහ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය පැට්‍රික් මැගෝරි පවසයි.
ඒ මැළිකමින් බොහෝ විට අදහස් වන්නේ, තරුණ පිරිමින් සහය පතන්නේ එය උග්‍ර වූ විට පමණක් බව ය.
මානසික වශයෙන් දැඩි විය යුතු බව සහ ආත්ම විශ්වාසය වටා ඇති සමාජ සම්මතයන් බොහෝ විට පිරිමි ළමුන් උපකාර පැතීමට අධෛර්යමත් කරන බව විශේෂඥයින් බීබීසී වෙත පැවසුවේ, අධ්‍යයනවලින් නිරන්තරයෙන් පෙනී යන්නේ, පිරිමි ළමයින් තම අනාරක්ෂිත බව ප්‍රකාශ කිරීම දුර්වලකමේ ලක්ෂණයක් බව විශ්වාස කරන බව ද සඳහන් කරමිනි.
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙකු සහ පිරිමින් සඳහා වන මානසික සෞඛ්‍ය පහසුකමක් වන HeadsUpGuysහි අධ්‍යක්ෂ ආචාර්ය ජෝන් ඔග්‍රොඩ්නීචුක් පැහැදිලි කරන්නේ, උපකාර පැතීම අසාර්ථකත්වයක් ලෙස පිරිමි ළමයින් සලකන බව ය.
“පුරුෂයෙක් විදිහට සමාජගත වීම ගැන අපි කතා කළොත්, පිරිමි කරන්න ඕනේ මොනවා ද නැත්තේ මොනවා ද කියලා ගොඩක් දේවල් නියම කරලා තියෙනවා: ධෛර්ය සම්පන්න වෙන්න, ශක්තිමත් වෙන්න, පාලනයෙන් යුක්ත වෙන්න, කිසි ම දුර්වලතාවක් හෝ තමන් අවදානමේ ඉන්න බවක් පෙන්නන්න එපා, ඔයා ම ඔයාගේ දේවල්වලට විසඳුම් හොයා ගන්න වගේ ඒවා,” ඔහු පැහැදිලි කරයි. “ඔයාගේ ම චිත්තවේගීය ජීවිතය සමග සම්බන්ධතාවක් ගොඩනගා ගන්න සහ ඔයාට එහෙම අවශ්‍ය නම් උපකාර ඉල්ලන්න මේ දේවල් ගොඩක් බාධක විදිහට ක්‍රියා කරන ආකාරය ඔයාට දකින්න පුළුවන්.”
පිරිමින්ගේ ස්වරය, භාෂාව සහ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඔවුන්ට ප්‍රවේශයක් විශේෂයෙන් නිර්මාණය කර ඇති විට, ඔවුන් ඒවාට සම්බන්ධ වීමට වැඩි ඉඩක් ඇති බව ආචාර්ය ඔග්‍රොඩ්නීචුක් පෙන්වා දෙයි.