සංචාරකයින් වැඩිවුනත්, ආදායම පහළ වැටෙන්නේ කොහොමද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තයේ ව්‍යුහාත්මක වෙනසක් සිදුව ඇති බව ආර්ථික විශේෂඥ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහගේ මතයයි.

“ඒ ව්‍යුහාත්මක වෙනස තුළ අපි දකින්නේ අපි හයි-එන්ඩ් ගමනාන්තයක් විදිහට ප්‍රමෝට් වෙනවා වෙනුවට ලෝ-එන්ඩ් ගමනාන්තයක් විදිහට ප්‍රමෝට් වීමක් තමයි අපිට පේන්නේ,” ඔහු පැවසීය.

එම වෙනස පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ, බටහිර ස්වරූපයේ ගති ලක්ෂණ හෝටල්වලින් ක්‍රමානුකූලව ගිලිහෙමින් යන බව ය.

කොළඹ ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති තරු පන්තියේ හෝටල්වල බොහෝ අවස්ථාවලදී පිළිගන්වනු ලබන ආහාර දකුණු ආසියාතික හෝ ලාංකික ස්වරූපයක් ගන්නා බව ඔහු පැවසීය.

ආරුගම්බේදී ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනෙකු කළ පහරදීම: පහර කෑමට ලක්වූවන් කියන්නේ මොනවා ද?
“ඒකෙන් අදහස් වෙන්නේ සංචාරක ගමනාන්තයක් විදිහට අපි විශේෂීකරණය වෙමින් යනවා බොහෝ ම අඩු වියදම්, ලෝ එන්ඩ් සංචාරකයින්ට කේටර් කරන්න,” යැයි මහාචාර්යවරයා සඳහන් කළේ ඊට හේතු විය හැකි සාධක පිළිබඳව ද පැහැදිලි කරමිනි.

“ඒකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. එක පැත්තකින් මේ කර්මාන්තය පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් කඩා වැටුණා. කොරෝනා වසංගතයෙන් කඩා වැටුණා. මේත් එක්ක මේකේ හිටපු විශාල පිරිසක් එළියට ගියා. ඒක මම හිතනවා ඉතාමත් අහිතරකර විදිහට බලපෑවා කියලා මේ ක්ෂේත්‍රයේ සංවර්ධනයට,” ඔහු පැවසීය.

“ඒකත් එක්ක අපේ සේවාවල ගුණාත්මක බව, කෑම සහ බීමවල තියෙන ගුණාත්මක බව, අනෙක් දේවල්වල ගුණාත්මක බව පහළට වැටීම හේතුකොට ගෙන අපිට ආකර්ෂණය වෙන්නේ හුඟක් වෙලාවට ලෝ-එන්ඩ් ටුවරිස්ට්ලා වගේ තමයි.

“ඒක මම හිතන්නේ ප්‍රථම වතාවට පහුගිය කාර්තුවේ දැක්කේ ටුවරිස්ට්ස්ලා ගණන වැඩි වෙනවා හැබැයි ආදායම් අඩුවෙනවා,” ඔහු පෙන්වා දුන්නේ ය.

මහාචාර්යවරයා අවධාරණය කළේ, එය අප දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කාරණයක් බව ය. “එන සංචාරකයින්ට වඩා වැදගත් වන්නේ ලැබෙන ආදායම,” ඔහු අවධාරණය කළේ ය.


මහාචාර්යවරයා අනතුරු ඇඟවූයේ කර්මාන්තය තුළ ප්‍රතිපත්ති හරහා ඊට මැදිහත් වීම සිදු නොකළහොත් රට “ඉතාමත් ම නරක තැනකට” ගමන් කරනු ඇති බව ය.

“බරපතළ ම දේ තමයි සංචාරක ව්‍යාපාරය තුළ සංවර්ධනයට දැවැන්ත දායකත්වයක් ගන්න විශාල විභවතාවක් තියෙද්දී අන්න ඒ විභවතාව අපි ඇත්තට ම භාවිත නොකිරීම,” ඔහු පෙන්වා දුන්නේ ය.

“ඒ කියන්නේ ලේසියෙන් පහසුවෙන් ගන්න පුළුවන් මේ ප්‍රගතිය අපි අවසානයේදී අත්කර ගන්න අසමත් වීම උඩ ඇති වෙලා තියෙන්නේ අපි තුළ කිසි ම සංවර්ධන සැලැස්මක් නැහැ කියන එක,” මහාචාර්යවරයා අවධාරණය කළේ ය.

“රජය ඇවිල්ලා මාස 10යි. මොනවා ද කරලා තියෙන්නේ මාස 10ට? කිසි ම ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරලා නැහැ. ඉතින් ඒ හින්දා ප්‍රතිපත්තිමය වශයෙන් බරපතළ අසාර්ථකත්වයක් තියෙන්නේ. මේ විදිහට ආර්ථිකය අරගෙන යන්න බැහැ. රජය එදිනෙදා මාතෘකාවලින් පහළ මට්ටමේ ඉන්න නූගත් ජනතාව පිනෙව්වට මේ සැබෑ යථාර්ථය තුළ කිසි ම ප්‍රගතියකට යන ගමනක් සිද්ධ වෙමින් නැහැ,” යැයි ඔහු ප්‍රකාශ කළේ කර්මාන්තය තුළ සිදු විය යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් ගැන පැහැදිලි කරමිනි.

මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීම සඳහා බීබීසී සිංහල විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

ඒ අනුව, අප සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සම්බන්ධ කර ගැනීමට පියවර ගත් නමුත් කාර්යබහුල බැවින් ඉදිරියේදී ඔහු අප හා සම්බන්ධ වන බව ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා පැවසීය.


අයේෂ්ක ගුරුගේ සඳහන් කළේ, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට රට තුළ නිරත වීමට ඇති ක්‍රියාකාරකම් ඉතා අඩු බව ය. ඔවුන් මෙහි වැඩි වශයෙන් පැමිණ සිදු කරන්නේ නිදහසේ කාලය ගත කිරීම හෝ මෙරට සංස්කෘතිකමය වටිනාකම් දැක බලා ගැනීම බව ඔහු පැවසීය.

“හික්කඩුව ගත්තොත් සුද්දෙකුට විනෝද වෙන්න එහෙම දෙයක් නැහැ. සුද්දෙකුට ඇවිල්ලා ලංකාවේ ඇතුළේ වියදම් කරන්න සංස්කෘතිකමය දේවල් ටිකක් ඇරෙන්න වෙන දේවල් ටිකක් නැහැ. ලංකාවට වැඩි හරියක් ගෙස්ට්ලා එන්නේ නිදහසේ ඉන්න. ඉතින් සුද්දෙකුට ඇවිල්ලා වියදම් කරන්න දෙයක් නැහැනේ,” ඔහු පැවසීය.

වසංගත සමයෙන් පසු මෙරටට පැමිණි රුසියානු සංචාරකයින් රැකියාවල නිරත වීම හරහා කර්මාන්තයට සිදු වූ හානිය පිළිබඳව ද ඔහු සඳහන් කළේ ය.

විදෙස් සංචාරකයින්ට ගුවන් තොටුපළේදී ම රියැදුරු බලපත්‍ර: බලපත්‍ර නිකුත් කරන වාහන කාණ්ඩ මොනවා ද?
“කොවිඩ්වලින් මිනිස්සු වැටුණට පස්සේ රෂියන්ස්ලා නේ මෙහෙට ආවේ මුලින් ම. එතකොට ඒ අය කළේ හොටෙල් වගේ ඒවා එක පාර සල්ලි දීලා අරගෙන ඒ අය බිස්නස් කරන එක. අපිට තේරෙන විදිහට දැන් ඒ මාකට් එක කැඩීගෙන යනවා. රෂියන් ගෙස්ට්ලාට කැමති නැහැ යුරෝපියන්ස්ලා. එහේ සල්ලි මෙහෙට එන්නේ නැහැ. එහෙටමයි යන්නේ.”

හඳුනා ගැනීම් සිදු කර වෘත්තීමය වශයෙන් කර්මාන්තය සංවර්ධනය කිරීමට මෙම ගැටලුවට ඇති එක් විසඳුමක් බව මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ බීබීසී සිංහල සමග පැවසීය.

නමුත් කර්මාන්තය තුළ පවතින මානව සම්පත් හිඟය ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

අයේෂ්ක මතු කළ අදහසට සමාන අදහසක් දක්වමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, විදේස් සංචාරකයින්ට නිරත වීමට විවිධ ක්‍රියාකාරකම් රට තුළ සංවර්ධන කළ යුතු බව ය.

“අනිවාර්යයෙන් ම සංචාරකයින්ට මෙහේ ඇවිල්ලා කරන්න දෙයක් තියෙන්න ඕනේ. ඒක ස්පිර්චුවල් ටුවරිසම් වෙන්න පුළුවන්, නේචර් වෙන්න පුළුවන්, රිලිජස් වෙන්න පුළුවන්. විවිධ පැතිවලට අදාළව ක්‍රියාකාරකම් හදන්න ඕනේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.