ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා රජය, 2024 ජූනි මාසයේදී කල් පිරෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක ඇප බැඳුම්කරවලින් 50%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායමක් සමඟ පැවති මූලික ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අසාර්ථක වූ බව නිවේදනය කර ඇත.
ජූලි 28 සිට අගෝස්තු 1 දක්වා පැවති මෙම සාකච්ඡාවලට ගුවන් සමාගම, රජය සහ ‘ඇඩ් හොක් බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායමේ’ සාමාජිකයන් හය දෙනෙකු සහභාගී විය. දෙපාර්ශ්වයම “ඵලදායී” යැයි විස්තර කළද, ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසි සම්බන්ධයෙන් කිසිදු එකඟතාවකට පැමිණීමට නොහැකි විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව, ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් දක්වා වූ මුදලක් ටෙන්ඩර් පිරිනැමීමක් හරහා සහ 2028 දී කල් පිරෙන රජයේ බැඳුම්කර හුවමාරුවක් හරහා බැඳුම්කර හිමියන්ට ලබා දීමට යෝජනා කෙරිණි. මේ සඳහා, ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කරන ලද බැඳුම්කර සඳහා ඩොලරයට ශත 80ක් හෝ සාමූහික ක්‍රියාමාර්ග වගන්ති යටතේ අනිවාර්ය කොන්දේසි යටතේ ඩොලරයට ශත 70ක් වශයෙන් ‘කප්පාදුවක්’ (haircut) පිළිගැනීමට සිදුවේ.
ඊට ප්‍රතිචාර වශයෙන්, බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේදී, 2028 දී කල් පිරෙන ස්වෛරී බැඳුම්කර හුවමාරුවක් හරහා සම්පූර්ණ මූලික මුදල අයකර ගැනීම, උපචිත සහ නොගෙවූ සියලුම පොලී මුදල්වලින් ගෙවීමක් සහ මූලික මුදලින් 3%ක early bird කැමැත්ත ගාස්තුවක් ඉල්ලා සිටින ලදී.
මෙම ප්‍රති යෝජනාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ගුවන් සමාගම සහ රජය ප්‍රකාශ කළේ එම කොන්දේසි “බලාපොරොත්තු වූ දේට වඩා බොහෝ සෙයින් වෙනස්” බවත්, ශ්‍රී ලංකාවේ IMF අරමුදල් සහිත ණය තිරසාර රාමුව තුළ ඒවා කළ නොහැකි බවත්ය. ඒ අනුව, දෙපාර්ශ්වය සාකච්ඡා අවසන් කිරීමට එකඟ විය.
රජය සඳහන් කළේ සුදුසුකම් ලත් රාජ්‍ය ණයවලින් 98%කට වැඩි ප්‍රමාණයක් දැනටමත් පෙර එකඟතා හරහා විසඳා ඇති අතර, ඉන් 92%ක් ක්‍රියාත්මක කර ඇති බවයි. සියලුම ණය හිමියන්ට සමාන ලෙස සැලකීම පිළිබඳව රජය නැවත අවධාරණය කළ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බැඳුම්කර ද පුළුල් ප්‍රතිව්‍යුහගතකරණයේ කොටසක් බව අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවල තොරතුරු සිංගප්පූරු කොටස් වෙළෙඳපොළට ඉදිරිපත් කළ ලේඛනයක් හරහා නිකුත් කර ඇත.