කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම සඳහා අලුත්ම විසඳුමක් වශයෙන් ගුවන් මගීන්ගෙන් යම් කොටසක් වෙනත් ස්ථානයකදී පරීක්ෂා කර ඇතුළුකර ගැනීමට (check-in) රජයෙන් යෝජනා වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ වරාය නගරයේ (Port city) තීරුබදු රහිත සාප්පු සංකීර්ණය ස්ථාපිත ස්ථානයේ මේ සඳහා කවුන්ටර පිහිටුවීමට යෝජනා වී ඇති බව සඳහන්.
එහිදී කොළඹ වරාය නගරයේ (Port city) තීරුබදු රහිත සාප්පු සංකීර්ණය අසල අලුතින් පිහිටුවන කවුන්ටර හරහා ගුවන් මගීන්ගේ විදෙස් ගමන් බලපත්‍ර සහ ටිකට් පත් පරීක්ෂා කර ඇතුළුකර ගැනීමටත්, ඔවුන්ගේ ගමන් මළු ද කිරා බලා භාරගැනීමටත් මගීන් සහ ගමන් මළු එහි සිට ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපල වෙත ප්‍රවාහනය කිරීමටත් ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇත.
දැනට කටුනායක ගුවන් තොටුපලේ පවතින කවුන්ටරවල දැඩි තදබදයක් සහ පෝලිම් පවතින නමුත් අලුතින් කවුන්ටර පිහිටුවීම සඳහා එහි ඉඩකඩ නොමැති වීම බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ.
ඊට විසඳුමක් වශයෙන් ඉහත ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේ නම් කොළඹ වරාය නගරයේ (Port city) තීරුබදු රහිත සාප්පු සංකීර්ණය අසල අලුතින් check-in කවුන්ටර 20ක් පමණ පිහිටුවීමට හැකියාව ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.
කොළඹට ආසන්න ප්‍රදේශවලින් පැමිණෙන මගීන්ට මෙම අලුත් පර්යන්තය භාවිතා කරමින් වඩාත් පහසුවෙන් සිය ගුවන් ගමන් සිදුකර ගැනීමට හැකිවනු ඇති අතර කටුනායක දක්වා සුඛෝපභෝගී බස් රථ යොදවා ඔවුන්ට ප්‍රවාහනය සැපයීමටත් ඒ සඳහා යම් සාධාරණ මුදලක් අයකිරීමටත් යෝජනා වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.