මහින්ද අද ගෙදරින් එලියට – චන්ද්‍රිකා යන්න සූදානම් – මෛත්‍රි කලින්ම ගිහින්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ඊයේ (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150 කින් සම්මත විය. ඊයේ පෙ.ව 11.30 සිට එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළ විවාදය පැවති අතර අනතුරුව ප.ව 3.30ට පමණ පැවති දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 1ක් හිමිවිය. 

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2025 අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. 

මේ අනුව ඉවත් කරන ලද පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව; ඉවත් කරන ලද පනතේ 3 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්, සහ ඉවත් කරන ලද පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප අහෝසි වීම සිදුවේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් මේ වන විටත් නිල නිවාස භාවිත කරනු ලබයි.

ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ඔහු හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවෙස් රජයට භාරදීමට කටයුතු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

යම් හෙයකින් අදාළ නිල නිවෙස් භාරදීමට කටයුතු නොකළහොත් ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දිමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.