ජගත් සමුළුවේදී ‘නෙතන්යාහුට’ විරෝධය!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය ඇමතීම ඊයේ (26) දිනට යෙදී තිබුණි.

සමුළුව ඇමතීම සඳහා අගමැතිවරයා වේදිකාවට පැමිණි අවස්ථාවේ රටවල් රැසක නියෝජිතයින් ඔහුට විරෝධය දක්වමින් එම ශාලාවෙන් පිටතට ගොස් තිබුණි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මේ දිනවල පැවැත්වෙයි.

එහිදී ලොව පුරා බොහෝ දෙනෙකු දැඩි උනන්දුවකින් බලා සිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමුළුව ඇමතීම මෙලෙස ඊයේ දිනට යෙදී තිබුණි.

මහා මණ්ඩල සැසියට එක්වීමට ගිය නෙතෙන්යාහු රැගත් ‘වින්ග්ස් ඔෆ් සියෝන්’ නිල ගුවන්යානය අමරිකාවට ළඟාවුණේ, යුරෝපා රටවල් රැසක ගුවන් කලාප මඟහරිමිනි.

ඒ යුද අපරාධ චෝදනා මත ඔහුට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුවක් අනුව, එම කලාපය තුළදී ඔහුව අත්අඩංගුවට පත්වීමට ඇති හැකියාව හේතුවෙනි.

මහා මණ්ඩල සැසිවාරයට එක්වූ අගමැති නෙතන්යාහු සමුළුව ඇමතීම සඳහා වේදිකාවට පැමිණි අවස්ථාවේ රටවල් රැසක නියෝජිතයින් එම ශාලාවෙන් පිටතට ගොස් තිබුණේ ඔහුට විරෝධය දක්වමිනි.

කෙසේ වෙතත් තවත් පිරිසක් නෙතන්යාහුට සහාය දක්වමින් අත්පොලසන් දෙමින් කටයුතු කර තිබුණි.

අනතුරුව සමුළුව අමතමින් නෙතන්යාහු, ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම පිළිබඳව අදහස් පළ කළේය.

2023 වසරේ සිදුකළ හමාස් ප්‍රහාරය මෙන්ම අනතුරුව ඊශ්‍රායලය හමාස් සංවිධානයට, ඉරානයට සහ එම පාර්ශ්වයේ ආධාරක පිරිස් වලට එරෙහිව දියත් කළ මෙහෙයුම් හා ලැබූ ජයග්‍රහණ පිළිබඳව අදහස් පල කළේය.

එමෙන්ම මැදපෙරදිග කලාපය තුළ ඉරානයේ සහාය ලබන සන්නද්ධ පිරිස් ක්‍රියාත්මක වන ප්‍රදේශ සහිත සිතියමක් ද ඔහු ප්‍රදර්ශනය කර තිබුණි. එය නම් කර තිබුණේ ‘ශාපය’ ලෙසය.

ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් රැසක් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට කටයුතු කිරීම දැඩිව විවේචනය කළ නෙතන්යාහු, එය යුදෙව්වන් මරා දැමීම වෙනුවෙන් කළ ඇගයීමක් ලෙස අදහස් පළ කර තිබුණි.

පසුව ජුනි මාසයේ පැවැති ඉරාන – ඊශ්‍රායල යුද්ධය අතරතුර අමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායල අගමැතිවරයාගේ පැසසුමට ලක්වුණි.

අවසන් වශයෙන් ඔහු නැවත නැවතත් කියා සිටියේ පලස්තීන රාජ්‍යයක් ඇතිවීමට ඊශ්‍රායලය ඉඩ නොතබන බවය.

එමෙන්ම ගාසා තීරය තුළ සමූළ ඝාතන සිදුව ඇතැයි බවට එක්සත් ජාතීන්ගේ විනිශ්චය සභාවක් ලබාදී ඇති නිගමනය ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

ඊශ්‍රායල අගමැතිවරයා සමුළුව අමතමින් කළ කථාව ජංගම ශබ්ද විකාශන රථ යොදාගෙන ගාසා හි ප්‍රචාරය කළ බවද වාර්තා වෙයි.

සිය කතාව අතරතුර හමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් වෙත අමතමින් නෙතන්යාහු පවසා තිබුණේ,

‘අපගේ නිර්භීත විරයනි, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට මේ ඔබ අමතන්නේ අගමැති නෙතන්යාහුයි. අප ඔබව තත්පරයකටවත් අමතක කර නැහැ. ඔබ සියලුදෙනා බේරාගන්නා තුරු අප මෙය නවත්වන්නේ නෑ’ යනුවෙනුයි.