වැස්ස අඩු වෙන්නේ කවදා ද?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ජන ජීවිතයට දැඩි ලෙස බලපෑම් ඇති කරමින් ඇති , වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳව අප වෙබ් අඩවිය තවදුරටත් කරුණු සොයා බැලී ය.

එහිදී කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ, මෙරිල් මෙන්ඩිස් අප වෙත කියා සිටියේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද බලාපොරොත්තු වන බව ය.

“දැනට තියෙන කැළඹිලි ස්වභාවය හෙට දිනයේදී අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා ඉන්දියාව දෙසට ගමන් කිරීමේ හැකියාව තමයි තියෙන්නේ. එහෙම වුණා ම ලංකාවේ නිරිත දිග කොටසේ වැස්ස වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල ඉස්සරහ දවස් ටිකෙත් වැස්ස බලාපොරොත්තු වෙන්න පුළුවන්,” ඔහු පැවසුවේ ය.

කෙසේ වෙතත්, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් ගැන දැනට අනාවැකි පළ කළ නොහැකි බවත් පද්ධතියේ හැසිරීම අනුව එය වෙනස් වනු ඇති බවත් ඔහු පැවසීය.

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ වර්ධනය වී ඇති කැළඹිලි ස්වභාවය නිසා ඇතිව තිබෙන වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇති වීමේ අවදානමක් පිළිබඳව අනතුරු අඟවා තිබේ.

මහ ඔය ද්‍රෝණිය සහ දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.