පාසැල් පවත්වන කාලය සවස 2 දක්වා දීර්ඝ කිරීම ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් ලබන මස 12 වැනිදා රට පුරා පාසැල්වල ගුරුවරු වැඩ වර්ජනයකට සූදානම් වෙති.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ලබන මස (12) වැනිදා ගෙන් පසු රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව අඛන්ඩ වැඩ වර්ජනයක් කැඳවන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් පවසයි.
දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදි සංවිධානය කර ඇති මෙම වැඩ වර්ජනයට ආණ්ඩුවට සම්බන්ධ වෘත්තිය සමිති පවා සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටින බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.
ගුරු වෘත්තීය සංගම් හෝ වෙනත් කිසිදු පාර්ශ්වයන් සමග විධිමත්ව සාකච්ඡා නොකර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති බවට උන්වහන්සේ චෝදනා කරති.
පාසල් පවත්වන කාලය 2 දක්වා දීර්ඝ කිරීම අධ්‍යාපන ඇමතිවරිය ලෙස අගමැති ගේ අත්තුනෝමතික තීරණයක් බව පවසන උන්වහන්සේ පාසල් කාලයේ දීර්ඝ කිරීම් පිළිබඳව සියලු ගුරුවරු විරෝධය පළ කර සිටින බව සුමංගල හිමියෝ පැවසූහ.
මතුව ඇති විරෝධතා සැලකිල්ලට නොගෙන රජය තවදුරටත් අත්තනෝමතිකව කටයුතු කරන්නේ නම් ලබන මස 12 වැනිදා පවත්වන වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ගෙන යෑමට සිදුවනු ඇති බවට උන්වහන්සේ අනතුරු අඟවති.

