වැල්ලම්පිටිය තඹ කම්හල් සේවකයන්ට TIDය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා බෝම්බකරුවන්ට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ, දැනට ඇප මත මුදා හැර සිටින සේවකයින් 8 දෙනාට හෙට සිට ලබන 01 වැනිදා දක්වා ත්‍රස්ත මර්දන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රකාශ සටහන් කරගැනීම සඳහායි.

වැල්ලම්පිටිය පොලීසිය විසින් ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය හමුවේ අද පෙනී සිටින ලෙස ඔවුන්ට නොතීසි නිකුත් කර තිබුණි.

මෙම සැකකරුවන් 8 දෙනා ඇතුළු 9 දෙනෙකු පසුගිය 6 වැනි දා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

නියමිත ඇප කොන්දේසිය සපුරා ගැනීමට නොහැකි වූ නිසා සැකකරුවෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

පාස්කු ඉරිදා දින සිදුවූ බෝම්බ ප්‍රහාරවල බෝම්බ නිෂ්පාදනය කළේ, වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සේවකයින් වැල්ලම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.