Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව විද්‍යාලයෙන් චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ. ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වැඩසටහන් අධ්‍යක්ෂ / සභාපති, මහාචාර්ය, ආචාර්ය Ricardo Saavedra Hidalgo මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඔහු ඒ සඳහා ඉදිරිපත් කළ නිබන්ධනය චීන කටු චිකිත්සාව සහ ඒකාබද්ධ වෛද්‍ය ක්‍රම ආශ්‍රිත සුවිශේෂ අංශයක් වන ආහාර ජීර්ණ පද්ධතිය සහ මොළය අතර ඇති සන්නිවේදන සම්බන්ධතාව පිළිබඳ අධ්‍යයනයක් විය. අමාශ සෞඛ්‍යය ආශ්‍රිත ගැටළු, මානසික යහපත, චිත්ත ඒකාග්‍රතාව සහ ජීර්ණ ස්ථායිතාව පිළිබඳව එහි ඉතා දීර්ඝ ලෙස සඳහන් වේ. ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම, මානසික පීඩනය අවම කිරීම සහ මනෝ විද්‍යාත්මක සමබරතාව ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා චීන කටු චිකිත්සාව උපකාර කළ හැකි ආකාරය එහි විද්‍යාත්මකව දක්වා ඇත.

වසර 25කට වැඩි සායනික අත්දැකීම් සහිත වෛද්‍ය විට්ටහච්චි Buddhika Vittahachchi Hospital පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සහ නිර්මාතෘ වේ. විශේෂිත චීන කටු ප්‍රතිකාර, සාම්ප්‍රදායික චීන වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් ආශ්‍රිත ප්‍රතිකාර සේවා රැසක් එහිදී ගත හැකිය. රෝගී කේන්ද්‍රීය ප්‍රවේශයක් සමග උසස් ප්‍රතිපල සහිත ප්‍රතිකාර සේවා සපයන ඔහු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. 2000 සිට 2010 දක්වා ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කටු චිකිත්සාව පිළිබඳ වෛද්‍යවරයා ලෙස සේවය කළේය. ඔහු රාජ්‍ය අංශය තුළ පවතින ඒකාබද්ධ ප්‍රතිකාර සේවා සංවර්ධනයට විශාල දායකත්වයක් දක්වා තිබේ.

ඔහු දේශීය සහ අන්තර්ජාතික සම්මාන සහ ඇගැයීම් රැසක්ද ලබා ඇත. කටු චිකිත්සාව සහ සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් ඉටු කර ඇති සේවාව අගයමින් International World Record of Asia පිරිනමන ජාතික සම්මානය ඒ අතරින් ප්‍රධාන වේ. කටු චිකිත්සාව සහ සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ ගෝලීය විශිෂ්ටත්වය වෙනුවෙන් Pride of Nation සම්මානයද දිනූ ඔහු විශිෂ්ටම චර්ම සහ කටු චිකිත්සා ප්‍රතිකාර සපයන්නා ලෙස Iconic Award 2025 සම්මාන උළෙලේදීද ඇගැයීමට ලක් විය. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කර ඇති සේවය අගයමින් ජෙරුසලම්හි Knights of St. John 2025දී ඔහුට ගෞරවනීය නයිට් පදවියක්ද පිරිනමා තිබේ. රෝගී සත්කාර, පර්යේෂණ සහ සායනික කටයුතු යන අංශ ඔස්සේ මෙරට කටු චිකිත්සා සහ චීන සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රමිති ඉහළට ඔසවා තැබීම ඔහුගේ අරමුණයි.