හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට , අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩුව, ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව මෙලෙස එම පිරිස නිදහස් කරනු ලැබූ අතර මේ වන විට සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වී ඇත.
–
ඒ, එම ආයෝජනයෙන් සිදුවූ අලාභය මහ බැංකුවට ගෙවීමේ කොන්දේසිය මත හිටපු මහ බැංකු අධිපතිවරයා නිදහස් කළ බවට ඇතිව තිබෙන තර්කයක් හේතුවෙනි.
.
අධිකරණයේදී සිදුව ඇත්තේ කුමක් ද?
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ දෙසැම්බර් 10 වන දා කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.
එහිදී, එම කොමිසම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, මෙම චෝදනා පත්‍රයේ රජයට පාඩු කළ බව සඳහන් රුපියල් 1,843,267,595.65ක මුදල
දඩයක් වශයෙන් අය කර ගැනීමේ කොන්දේසියට යටත්ව හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට සූදානම් බව ය.
එම ඉල්ලීමට හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක දැඩි විරෝධය පළ කර තිබිණි.
ඉන් අනතුරුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, එසේ නම් විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් දූෂණ විරෝධී පනතේ 67(3) වන වගන්ති ප්‍රකාරව කොන්දේසිවලට යටත්ව එම විත්තිකරු නිදහස් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටින බව ය.
.
ඒ අනුව, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ වන කොන්දේසියට යටත්ව නිදහස් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා, එම්.ඒ. කරුණාරත්න යන අය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ කොන්දේසි විරහිතව නිදහස් කිරීමට නියෝග කර ඇත.

.
අල්ලස් කොමිසමේ නිවේදනයේ සඳහන් කර ඇත්තේ මොනවා ද?
මේ අතර, මෙම නඩුව සම්බන්ධව දෙසැම්බර් 10 වන දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් කර ඇත්තේ, සිදුවූ අලාභය මාස තුනක් ඇතුළත අය කර ගැනීමේ කොන්දේසිය මත හිටපු මහ බැංකුවරයාට එරෙහි අධිචෝදනා ඉල්ලා අස්කර ගත් බව ය.
අදාළ නඩුවේ අධිචෝදනාවලින් පළමු චූදිතයා වූ හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඇති අධිචෝදනා දූෂණ විරෝධී පනතේ 67(1) වගන්තිය ප්‍රකාරව ඉවත් කර ගැනීමට සලකා බලන ලෙස පළමු චූදිතයා ඉල්ලා සිටි බව එම නිවේදනයේ සඳහන් වේ.
එහි තවදුරටත් සඳහන් කර ඇත්තේ, දූෂණ විරෝධී පනතේ 67(2) වගන්තිය අනුව කරුණු සලකා බලා ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව පනතේ 67(3) වගන්තිය අනුව කොන්දේසි මත පළමු චූදිතයාට එරෙහි අධිචෝදනා ඉල්ලා අස්කර ගත් බව ය.
“මෙම අධිචෝදනාවන් ඉල්ලා අස්කර ගන්නා දිනයේ සිට මාස 3ක කාලසීමාවක් ඇතුළත පළමු චූදිත විසින් මෙම වරදට අදාළව සිදුවූ අලාභය ලෙස ගණනය කර ඇති රු.1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක)ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් ගිණුමට බැර කළ යුතු ය,” යනුවෙන් එම කොන්දේසිය ද නිවේදනයේ දක්වා ඇත.
එමෙන් ම අදාළ කාලය තුළ එම මුදල මහ බැංකුවේ ගිණුමට බැර නොකළහොත් දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය ප්‍රකාරව නැවත ඔහුට අධිචෝදනා පවරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
එම නඩුවේ අනෙක් චූදිතයන්ට එරෙහි අධිචෝදනා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය ප්‍රකාරව ඉල්ලා අස්කර ගත් බවත් ඒ අනුව මහාධිකරණය එම චූදිතයන් නිදහස් කළ බවත් කොමිසම සඳහන් කළේ ය.
“මෙම නඩුවෙන් චූදිතයන් නිදොස් කොට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව ද වැඩිදුරටත් දන්වා සිටිමි,” යැයි නිවේදනයේ සඳහන් වේ.
‘මම දැනගෙන හිටියා මේවායින් අපි නිදහස් වෙනවාමයි කියලා’ – අජිත් නිවාඩ් කබ්රාල්
මේ අතර, අධිකරණ තීන්දුවෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ, අදාළ නඩුවෙන් තමන්ව නිදොස් කොට නිදහස් කළ බව ය.
මීට පෙර ද මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ බවත් එයින් ද තමන් ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කළ බවත් ඔහු කියා සිටියේ ය.
“අල්ලස් කොමිසම විසින් මෙම නඩුව අපිට විරුද්ධව දැමුවට පසු, මාගේ නීතිඥවරු, විශේෂයෙන් ඩිලාන් රත්නායක ජනාධිපති නීතිඥතුමා ඉල්ලීමක් කෙරුවා අල්ලස් කොමිසමට, මේ කරුණු සලකලා බලලා නැවත පසු විපරම් කරලා බලන්නට කියලා මේ නඩුව ගෙන යන්න බැරි නිසා මෙය ඉල්ලා අස්කර ගන්න එක හොඳයි කියලා එතුමා යෝජනා කෙරුවා. ඒ අනුව අල්ලස් කොමිසම විසින් අද ඒ නඩුව ඉල්ලා අස් කිරීමට උසාවිය දැනුම් දුන්නා. ඒ අනුව ගරු උසාවිය, මහාධිකරණය අපිව නිදොස් කොට නිදහස් කෙරුවා.”
තමන්ට එල්ල කර තිබුණ චෝදනා, “බොරු චෝදනා” බව පැවසූ හිටපු මහ බැංකු අධිපතිවරයා එම චෝදනාවලින් නිදොස් වීම ගැන සතුට පළ කළේ ය.
“මේ බොරු චෝදනාවලින් නිදොස් වීම ගැන සතුටු වෙනවත් එක්ක ම, පසුගිය කාලය තුළදී මා කියන්නට අවශ්‍ය යි මේ චෝදනා සියල්ල ම එක එක්කෙනා කරද්දි, බොහෝ ම උජාරුවෙන් සමහරක් අය කතා කෙරුවත් මම දැනගෙන හිටියා මේවායින් අපි නිදහස් වෙනවා ම යි කියලා.”
.
අජිත් නිවාඩ් කබ්රාල් කී කතාව
කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුවෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් නිදොස් කොට නිදහස් කිරීම ගැන සතුට පළ කළ හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් මේ සම්බන්ධව ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය මත කරුණු දැන ගැනීමට දෙසැම්බර් 12 වන දා, අප , හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇමතීය. එහිදී ඔහු පැවසූවේ මෙවැනි අදහසකි.
“නඩුව සම්බන්ධයෙන් උසාවියේ තීන්දුව ගත්තාට පස්සේ අපි කතා කරමු. ඒක ගන්නවා අද හම්බ වෙයි මම හිතන්නේ,” යැයි ඔහු කියා සිටියේ ය.
මෙම සිදුවීම පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමට අප , අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සම්බන්ධ කර ගත් අතර ඔහු කියා සිටියේ අල්ලස් හෝ දූෂණ කොමිසම ස්වාධීන ආයතනයක් බැවින් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ය.
“මට ප්‍රතිචාරයක් දක්වන්න විදියක් නෑ ඒ ගැන. ඒකට හේතුව තමයි ඒක අධිකරණ සේවා කොමිෂන් සභාවේ ස්වාධීන ආයතනයක් වීම නිසා ඒගොල්ලො ගන්න තීරණ ගැන මට මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරන්න බැහැ ඒකයි හේතුව.”
