සපුගස්කන්ද, දෙනිමුල්ල මංසන්ධියේදී [දෙසැම්බර් 11] සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල ඇප මත මුදා හැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම කාර්යාලය සඳහන් කළේ, මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු ඇප මත මුදා හරිනු ලැබූ බව ය.
අසෝක රන්වල අත්අඩංගුවට ගැනුණේ, අද දහවල් කාලයේදී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් සඳහන් කළ පරිදි, අනතුරක් වළක්වා නොගැනීම සහ අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.
රිය අනතුර සිදුවූ අවස්ථාවේදී ඔහු බීමත්ව සිටියා ද? යන්න පිළිබඳ වාර්තාව තවමත් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ, ඊයේ දිනයේ රාත්‍රී 7.45ට පමණ මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබිණි.
එහිදී තුවාල ලැබූ කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.
ඉතිරි දෙදෙනා සහ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා ඇති බව එම පොලිස් ස්ථානය පවසයි.
එම අවස්ථාවේදී ආසෝක රන්වල මන්ත්‍රීවරයා රිය පදවා ඇත්තේ බීමත්ව ද යන්න බීබීසී සිංහල සපුගස්කන්ද පොලිසියෙන් විමසීමක් කළේ ය.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ බව පරීක්ෂා කෙරෙනු ඇතැයි පොලිස් ස්ථානයෙන් වැඩිදුරටත් පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර ඇති බවත් එහි වෛද්‍ය වාර්තාව තවම ලැබී නොමැති බවත් ය.
එමෙන් ම මන්ත්‍රීවරයාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් සලකා බලා ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ වන බව අප සිදු කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා සිද්ධියට සම්බන්ධ පාර්ශව දෙක ම සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කරමින් සිටියි.

පොලිස් මාධ්‍ය හමුවේදී කරුණු දැක්වීම
මේ අතර, අසෝක රන්වල පදවන ලද ජීප් රථය අනතුරකට ලක්වීම පිළිබඳව අද (දෙසැ: 12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් කරුණු දැක්වීමක් කළේ ය.
ඒ, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනි.
ඔහු පැවසුවේ, අනතුරට අදාළ වාහන තුනක් පොලිස් භාරයට ගෙන ඇති බව ය.
මේ වන විට සිව් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ගත් උත්සහය අසාර්ථක වූ බවත් ඔහු පැවසීය.
ජාතික රෝහලේ අධ්‍යක්ෂ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරයි
මේ අතර, මන්ත්‍රීවරයා පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම සඳහා බීබීසී සිංහල විසින් ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ දුරකතනයෙන් සම්බන්ධ කර ගන්නා ලදී.
එහිදී බීබීසී සිංහල සේවයේ වාර්තාකරු මන්ත්‍රීවරයාගේ නම පැවසූ සැණින් ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ද පෙර අධ්‍යක්ෂවරයා ඇමතුම ලබා ගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරමින් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළේ ය.
“ඔයාලා කොහොම ද ඔහොම මීඩියා එක රෝගීන්ගේ විස්තර අහන එක හරි ද? මං දන්නේ නෑ ඔයාලා මීඩියා එකෙන් ද, ෆෝන් නම්බර් එකකින් කතා කළා ම, පළවෙනි එක. එහෙම ඉන්ෆොමේෂන් දෙන්න විදිහක් නෑ. මට ආයේ ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න එපා,” යනුවෙන් ඔහු පැවසීය.
එසේනම් එම තොරතුරු නිල වශයෙන් ලබා ගැනීමේ ක්‍රමවේදය කුමක් ද? යන්න බීබීසී සිංහල වාර්තාකරු ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසූ අතර, එහිදී ඔහු එම ප්‍රශ්නයට පිළිතුරක් ලබා නොදී එක් වර ම දුරකතනය විසන්ධි කළේ ය.
ඉන්පසුව නැවතත් දුරකතන ඇමතුමක් ලබා ගත් අතර, ඔහු එම දුරකතන ඇමතුමට සම්බන්ධ වී නැවතත් කිසිවක් නොපවසා දුරකතනය විසන්ධි කළේ ය.
