පැතුම් නිසා වාර්තා අලුත්වේ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කුසල් මෙන්ඩිස්ගේ සාර්ථක ආරම්භය හේතුවෙන් තමන්ටද ලකුණු අතරට පිවිසීමට පහසු වූ බව නොදැවී සුපිරි ශතකයක් වාර්තා කළ තරගයේ වීරයා වූ පැතුම් නිස්සංක පවසනවා.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ටේ්‍රලියාව සමග ඊයේ පැවති තරගය ජය ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

\
ඔස්ටේ්‍රලියාව සමග පැවති තරගය ශ්‍රී ලංකාව ජය ගනු ලැබුවේ කඩුළු 8 කින්. එහිදී පැතුම් නිස්සංක පන්දු 52කදී නොදැවී ලකුණු සියයක් රැස් කළා.

ඔහුගේ සුපිරි ශතකයෙන් වාර්තා කිහිපයක්ද අලුත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයකදී ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම්කීමට පැතුම් නිස්සංක ඊයේ සමත් වුණා.

මීට පෙර ලෝක කුසලානයකදී ශතකයක් රැස්කර තිබුණේ මහේල ජයවර්ධන පමණයි.

එමෙන්ම විස්සයි20 ලෝක කුසලානයකදී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය මෙය වන අතර විස්සයි20 ශතක දෙකක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරු වන්නේ ද පැතුම් නිස්සංකයි.

2014 වසරෙන් පසු ලෝක කුසලාන තරගාවලියකදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව ක්‍රීඩකයෙක් රැස්කළ පළමු ශතකයද මෙයවීමද විශේෂත්වයක්.

ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියා කණ්ඩායම නියමිත පන්දුවර විස්ස අවසානයේදි සියළු දෙනා දැවී ලකුණු 181 ක් රැස් කළා.

ශ්‍රී ලංකාව එම තරගය ජයගනු ලැබුවේ පන්දුවාර 18 ක් අවසානයේ කඩුළු 2 ක් පමණක් දැවී ලකුණු 184ක් රැස් කරමින්.

ශ්‍රී ලංකාව මෙම හඹාගිය ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ පන්දුවාර 20 තරගයක මව්බිමේදී හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ඔස්ටේ්‍රලියානු කණ්ඩායමක් පරාජයට පත්කළේ වසර 17කට පසුව වීමද විශේෂත්වයක්.