පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සඳහා මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ඉන්දීය රජය අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ද, ඉන්දීය රජයේ ප්‍රධානීන් විසින් මෙම මැතිවරණය පැවැත්වීමේ හදිසි අවශ්‍යතාව පෙන්වා දී තිබේ.
ඉන්දියාවේ ප්‍රාන්ත සභා ක්‍රමය ආදර්ශයට ගනිමින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මෙරටට පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන ලදී.
මේ අතර, පළාත් සභා මැතිවරණය සඳහා භාවිත කළ යුතු ඡන්ද ක්‍රමය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන සතියේදී රැස්වීමට නියමිතය.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාවේදී , ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් ඉතා ඉක්මන් තීරණයක් ගනු ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කර සිටියි.
දිවයිනේ පළාත් සභා නවයේම නිල කාලය අවසන් වී මේ වන විට වසර 10කට වැඩි කාලයක් ගත වී ඇති අතර , එම සියලු සභාවල පරිපාලන කටයුතු දැනට පවතින්නේ අදාළ ආණ්ඩුකාරවරුන් යටතේය.

