ඩෙංගු රෝගීන් ගණන ලක්‍ෂයකට ආසන්නයි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසරේ මේ දක්වා කාල සීමාව තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 94,037ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,962කි.

එමෙන්ම ජූනි මාසයේදී රෝගීන් 21,533ක් ද, අගෝස්තු මාසයේ මේ දක්වා රෝගීන් 8,701ක් ද වාර්තා වී ඇත.

ජනවාරි මාසයේදී රෝගීන් 7,866 ක්, පෙබරවාරි මාසයේදී 5,721ක්, මාර්තු මාසයේදී 6,013ක්, අප්‍රේල් මාසයේදී 5,651ක් සහ මැයි මාසයේදී රෝගීන් 8,590 ක් වශයෙන් වාර්තා විය.

දිවයිනේ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.93ක්ම, එනම් රෝගීන් 49,771ක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයකි.

ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,763ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,519ක් වාර්තා වී තිබේ.  

දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 20,034කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,652 ක් වාර්තා වන අතර, කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් රෝගීන් 3,787 ක් වාර්තා වේ.  

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,818ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 6,093ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 6,079ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5,160ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 5,003ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 2,713ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,651ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,510 ක් වාර්තා වී ඇත.  

දිවයින පුරා අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 76ක් හඳුනාගෙන තිබේ.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරන්තරයෙන් පිරිසිදු කර විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත්, උණ තත්ත්වයක් පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් නොපමාව ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.