සිදු කෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව එම ප්‍රකාශය ලබාගත් බව අල්ලස් කොමිසම පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ක්‍රිෂ් සමාගම වෙත ලබා ගැනීමට හා ඊට අදාළ අනුමැතිය කඩිනම් කර ගැනීමට සහය ලබා දීම වෙනුවෙන් අවස්ථා 3කදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත අදාළ අල්ලස් මුදල ලබා දී තිබූ බව සදහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන පසුගිය 24 වනදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය ඔක්තොම්බර් මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සිදු කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම සිදුවීමට අදාළව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබා දී ඇත.
ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් අද (25) පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශයකයකු සදහන් කළේය.

