ආහාරවලටත් සීනි-ලුණු-මේද සංයුතිය පාට පාටින් එයි

Picture of අසංක

අසංක

ඝණ හා අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුලත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය අනිද්දා (01) සිට බලාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්යංශය සඳහන් කර සිටී.

1980 අංක 26 දරන ආහාර පනතට අනුව ඊට අදාල රෙගුලාසි ඇතුලත් අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අප්‍රේල් මස 17 දින නිකුත් කර ඇත.

මෙම නියෝග පැනවීමේ මූලික පරමාර්ථය වනුයේ ආහාර වල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය පාදක කරගෙන ශ්‍රී ලංකාව තුල දැනට වර්ධනය වෙමින් පවතින බෝනොවන රෝග වලින් පෙළෙන ජනතාවට ආහාර තෝරා ගැනීමේ දී මගපෙන්වීමටත්, පොදුවේ ශ්‍රී ලංකාවාසීන්ට ආහාර සම්බන්ධයෙන් අවබෝධාත්මක පෙළෙඹවීමක් ඇති කිරීමටත් වෙයි.

හෙට දිනෙන් පසු නිෂ්පාදනය කරනු ලබන ඝණ හා අර්ධ ඝණ ආහාර වල වර්ණ සංකේතවත් කිරිම නිසි අයුරින් සිදු කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇත.

මෙම ක්‍රමවේදය අධික සීනි සහිත පානයන් හදුනා ගැනීම සදහා ඉතා පහසුවක් වූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණ වලින් හෙළිදරව් වූයේ පාසල් ළමුන්ගෙන් සියයට 50 ක් පැණිබීම භාවිතා කිරීමට ප්‍රථම වර්ණ සංකේත පරීක්ෂා කරන බවයි.