CNN සභාපති ඉල්ලා අස්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

CNN ජාත්‍යන්තර පුවත් සේවයේ ,  සභාපති ජෙෆ් සකර් හදිසියේම සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

CNN පුවත් සේවය වර්තමාන තත්ත්වයට දියුණු කිරීමේ නියමුවා ලෙස ජෙෆ් සකර්  සැලකෙන අතර  ඔහු  CNN හි ඉහළ නිලයක් දරන කාන්තාවක් සමග රහස් සම්බන්ධයක් පවත්වා ඇති බව හෙළිවීමෙන් අනතුරුව සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව එම පුවත් සේවයම වාර්තා කර ඇත .

සකර් මෙම ඉල්ලා අස්වීමේ  නිවේදනය නිකුත් කර ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර ඔහු විසින් CNN හි ප්‍රමුඛ ප්‍රවෘත්ති නිවේදකයෙක් වන ක්‍රිස් කුඕමෝ ඉවත් කිරීමෙන් අනතුරුවවීම විශේෂත්වයකි

ඔහුගේ සහෝදරයා වන නිව් යෝර්ක් හි හිටපු ආණ්ඩුකාර ඇන්ඩ්රු කුඕමෝ ට එරෙහිව ලිංගික අපචාර චෝදනා එල්ලවූ විට එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් දුන් බවට ක්‍රිස් කුඕමෝ ට එරෙහිව චෝදනා එල්ලවුණි.

“ක්‍රිස් කුඕමෝ ගේ CNNහි කාලය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයකදී මගෙන් විමසීමක් කළා මා සහ මගේ සමීපතම සගයා අතර ආදර සම්බන්ධයක් තිබේද යන්න ගැන. මම සහ ඇය වසර විස්සක් පමණ එකට වැඩකළේ. මම පිළිගත්තා එවැනි සම්බන්ධයක් මෑත කාලයේදී ඇතිවුණු බව. මම එය හෙළිකළ යුතුව තිබුණා. නමුත් එහෙම වුණේ නෑ. මම වැරදියි. ඒ නිසා මම ඉල්ලා අස්වෙනවා,” යනුවෙන් සිය සහෝදර සේවකයින්ට ඔහු ලිඛිතව දන්වා තිබුණි.

සකර් සිය සගයාගේ නම එහි සඳහන් කර නොතිබුණි.

නමුත් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම තැනැත්තිය වන්නේ CNN හි අලෙවි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඇලිසන් ගොලස්ට් බවය.