ෆේස්බුක් සමාගම හදිසියේ තම සමාගම් නාමය Meta ලෙස වෙනස්කරගත්තේ ඇයි ?
මෙය මේ දිනවල , සමාජ මාධ්‍ය භාවිතාකරන ඔබ අප කාගේත් සිත්වල පැනනැගී ඇති පැනයකි .
ෆේස් බුක් සමාගම නම් පවසන්නේ තම සමාගම සමාජ මාධ්‍යවලින් ඔබ්බට, යථා ස්වභාවය තාත්විකව නිරූපනය කිරීම (virtual reality) වැනි ක්ෂේත්‍රයන් දක්වා පුළුල් කරන බැවින්, නව සන්නාමය මඟින් තම සමාගමේ ක්‍රියාකාරකම් වඩාත් හොඳින් “ආවරණය” කරන බවයි.
කෙසේ වෙතත් මෙහිදී මව් සමාගමේ සන්නාමය වෙනස් කිරීම Facebook, Instagram සහ Whatsapp වැනි එක් එක් වේදිකා සඳහා අදාළ නොවන අතර එම සමාජ ජාලා පැරණි නම් වලින්ම දිගටම ක්‍රියාත්මක වේ. නව නම මව් සමාගම පමණක් භාවිතා කරනු ඇත.
ෆේස්බුක් ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග්මෙම නව සමාගම් නාමය හඳුන්වාදෙමින් පැවසුවේ ,
“කාලයත් සමගම, අපි මෙටාවර්ස් සමාගමක් ලෙස දකිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අපගේ කාර්යභාරය සහ අපගේ අනන්‍යතාවය අපගේ අනාගත සැලසුම් මත ස්ථාපිත කිරීමට මට අවශ්‍යයි,” යනුවෙනි .
ඔහු මෙහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය
“අපි දැන් අපගේ ව්‍යාපාරය කොටස් දෙකක් ලෙස සලකා වාර්තා කරනවා. එකක් අපගේ යෙදවුම් පවුල, සහ අනෙක අනාගත වේදිකාවල අපගේ ක්‍රියාකාරකම්.
“මෙහි කොටසක් ලෙස, අප කරන සෑම දෙයක්ම විදහා දැක්වීමට, අප කවුරුන්ද යන්න සහ අප ගොඩනැගීමට බලාපොරොත්තු වන දේ පිළිබිඹු කිරීමට සමාගමට නව සන්නාමයක් හදුන්වාදීමට කාලයයි.”
“මෙටා” යන වචනය පැමිණෙන්නේ “ඔබ්බට” යන අර්ථය දෙන ග්‍රීක වචනයෙනි. විශේෂයෙන්ම අතථ්‍ය ලෝකය (virtual world) හා සම්භන්ධ කෙරෙන පාලමක් ලෙසද මෙටා සමාගමේ නව ගමන් මග හැඳින්විය හැකි බව සකර්බර්ග් සඳහන් කර ඇත .
කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය හා විචාරකයින් පවසන්නේ සිය සමාගම් නාමය වෙනස්කිරීමට ගත් මෙම පියවර මඟින් ෆේස්බුක් සමාගම තමාට එල්ලවී ඇති සෘණාත්මක කථාවලින් අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන බවකි .
විශේෂයෙන් ෆේස්බුක් සමාගම මෙය සිදු කර ඇත්තේ තම වෙළඳ නාමයට ඇතිවී තිබෙන හානිය නිසා බවද එම විචාරකයින් අනුමාන කරයි .
වසංගතය අතරතුර එන්නත පිළිබඳ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ෆේස්බුක් විසින් ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් වසන්කළ බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කිරීම ද ඇතුළුව, සමාගමේ කීර්ති නාමයට මේ වනවිට පහර කීපයක් එල්ල වී ඇත.
එය, හිටපු සේවිකාවක් වන හෝගන් මාධ්‍ය වෙත කාන්දු කරන ලද අභ්‍යන්තර ලේඛන මත පදනම් වූ වාර්තා මාලාවක නවතම හෙළිකිරීමයි.
ඉන්ස්ටග්‍රෑම් නව යෞවනයන්ගේ මානසික සෞඛ්‍යයට හානි කරන බවට පර්යේෂණ ප්‍රතිපලයන්ගෙන් පෙන්වා දී ඇතත් ෆේස්බුක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත්, එක්සත් ජනපදයෙන් පිටත දී එහි වේදිකාවලට එකතුවෙන වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට එතරම් ප්‍රමුඛතාවක් නොදෙන බවත් එම වාර්තා පවසයි.
ඒ අනුව ෆේස්බුක් සමාගමේ මෙම ක්‍රියාවන්ට එරෙහිව හඬක් නගන ඇමෙරිකානු සෙනෙට් සභිකයින් , සමාගමේ නම වෙනස් කිරීමේ ක්‍රියාව නොසලකා හැර ඇති බවට දැනටමත් දක්නට හැකි ය. එක් සෙනෙට් සභිකයෙකු මෙම පියවර “බාහිර” වෙනස්කමක් ලෙස විස්තර කර තිබුණි.
ෆේස්බුක් , මෙටා බවට පරිවර්තනය කිරීමට මුල්වූ හේතුව කුමක් වුවත් මෙහිදී එක් කරුණක් පැහැදිලිය , එනම් ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් තවදුරටත් එලෙසින්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීම, සකර්බර්ග්ගේ ආශාව නොවන බව ය. ඔහු උනන්දු වී සිටින්නේ, මිනිස් අත්දැකීම් ප්‍රතිනිර්මාණය කෙරෙන අතථ්‍ය ලෝක හෙවත් වර්චුවල් (virtual) ලෝක නිර්මාණය සඳහා ය ඒ අනුව බලන කල meta යනු බොහෝවිට අන්තර්ජාලයේ අනාගතය විය හැක …