IMF 6 වැනි වාරිකයත් ලංකාවට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 164 ක හයවන වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය ලබාදී ඇත.

මෙම හයවන වාරිකය මුදා හැරීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේශ්‍රී ලංකාව වෙත කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය විදේශීය ගැනුම් හිමිකම් මිලියන 952.23 ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.31 ක් වේ.

මේ අතර මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන 2020 ජූනි 02 දින දක්වා දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව තීරණය කර තිබෙන අතර මේ අනුව ඉතිරි ණය වාරික මුදා හැරීම ඉදිරි වසර තුළ දී සිදුකිරීමට නියමිතය.

විස්තීර්ණ ණය පහසුකම අඛණ්ඩව ලැබීම මගින් බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමට හැකිවන අතර, එමගින් මැදි කාලීන ආර්ථික වර්ධනය අත්කර ගැනීමට සහ වෙළෙඳපොළ විශ්වාසය ඉහළ නංවා ගැනීමට ඇකි වන ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත සම්පූර්ණ ණය මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කි.