PCR කට්ටල අඩු මිල ටෙන්ඩරය නොගෙන වැඩි මිලටම ගන්නේ ඇයි?

Picture of අසංක

අසංක

සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය ඔක්තෝබර් මස කැඳවූ ටෙන්ඩරයන්ට අනුව PCR කට්ටලයක් රුපියල් 1200 – 1500 වැනි මිල ගණන්වලට සැපයීමට සමාගම් ඉදිරිපත්ව සිටින නමුත් ,බලධාරීන් තවමත් එම ටෙන්ඩරය ක්‍රියාත්මක කර නොමැති බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කර සිටී.

ඒ අනුව අමාත්‍යාංශය තවමත් රුපියල් 5500ක පමණ මිලකට PCR කට්ටල පැරණි සැපයුම්කරුවන් වෙතින්ම මිලදී ගනිමින් සිටින බවද වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය වෙත අද පැවසීය.

කොරෝනා වෛරසය ලෝකය තුළ පැතිරුණු මුල් අවධියේදී මෙම PCR කට්ටල මිල අධිකව තිබුණත් ලෝකයේ විවිධ සමාගම් විසින් නවීන තාක්ෂණය භාවිතා කරමින් ඒවායෙහි පිරිවැය අඩු කරගෙන තරගකාරී අඩු මිල ගණන්වලට ඒවා සැපයීමට මේ වනවිට සමත්ව සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

නමුත් මෙරට බලධාරීන් එසේ අඩු මිලට පී සී ආර් යන්ත්‍ර ගැනීමට හැකියාව තිබියදී, වැඩි මිලට ඒවා මිලට ගැනීම ගැටළුවක් බවද ඔහු මෙහිදී පැවසීය.