ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මේ දිනවල සමාජ ජාල තුළ සීඝ්රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති තවත් ඡායාරූපයකි.
පිලිපීනයේ මේයෝන් ගිනිකන්දේ මුදුන වසා පැතිර ඇති කුඩයක හැඩැති වළාකුළු පෙළගැස්ම සහිත මෙම දර්ශනය ඡායාරූපගත කර තිබුණේ නෝලී ලූනා නමැති ගිනිකන්ද අවට පදිංචිකරුවෙකි.
ඒ පසුගිය 23 වැනිදා අලුයම 5.30ට පමණ ය.
මින් පෙර නොදුටු අපූරු දර්ශනයක් වූ මෙය දැකගත හැකිව ඇත්තේ පදිංචිකරුවන් කිහිපදෙනකුට පමණි.
ඊට හේතුවී ඇත්තේ හිරු පායා ඒමත් සමග වළාකුළුවල හැඩය වෙනස් වී ඒවා ගමන් කිරීම නිසා ය.
මෙම වළාකුළ කවාකාර හැඩයේ සාමාන්‍ය වළාකුළු පිහිටීමක් බව කාලගුණ විශේෂඥයින්ගේ අදහස වී ඇත.
මෙය දුටු වහාම එය ඡායාරූපගත කරගත් නෝලි එය පසුව ෆේස්බුක් වෙත මුදාහැර තිබුණේ ‘ඩැරාගන්ග් මැටායොන් ඇයගේ සුදු පැහැ කුඩය ඉහළාගෙන සිටින අයුරු’ යනුවෙන් සටහනක් ද තබමිනි.
පිලිපීන ජාතිකයන්ගේ සාම්ප්‍රදායික හිස්වැසුමක හැඩය ගත් මෙම වළාකුළු පිහිටීම සලාකොට් හෙවත් අතීත පිලීපීන රජවරුන්ගේ ඔටුන්නේ හැඩයට ද සමානකම් කියන බව පැවසේ.
පිලිපීනයේ පිහිටි මෙයෝන් ගිනිකන්ද ආශ්‍රිතව විවිධ පුරාවෘත්ති පවතී.
ගිනිකන්ද ආශ්‍රිතව වඩාත් අද්භූත, ආකර්ෂණීය ජනප්‍රියම පුරාවෘත්තය වන ඩැරාගන්ග් මැටායොන් හා පැන්ගානොරොන් පෙම්වතුන්ගේ කතාන්දරයේ එන ඇතැම් දේ මෙයොන් ගිනිකන්ද ආශ්‍රිතව සිදුවන ඇතැම් ස්වභාවික දේවල් නිසා සත්‍යයක් වෙමින් පවතින බවට එරට ජනතාව අතර කතාබහට ලක්වේ.
ඩැරාගන්ග් මැටායොන් යන පිලිපීන වචනයේ අර්ථය වන්නේ ‘නොඉදුල් සුන්දර යුවතිය’ යන්නයි.