අතිවිශේෂ අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ගම්පහ දී මැදිවියේ යුවළක් අසැබි ලෙස හැසිරුණැයි පවසා මත්පැන් බෝතල් දෙකක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් හා සාජන්වරයෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ ගම්පහ නගරයේ මාර්ගය අයිනේ තනා ඇති බංකුවක වාඩිවී සිටි මැදිවියේ යුවළකට එතැනින් ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා අසැබි ලෙස හැසිරුණු බව පවසා පිරිමි පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය හා කාන්තාවගේ හැඳුනුම්පත සිය භාරයට ගෙන ඇත.

ඒවා යළි අවශ්‍ය නම් මත්පැන් බෝතල් දෙකක් සමග පැමිණ ලබාගන්නා ලෙස පොලිස් නිලධාරීන් එම යුවළට පවසා ඇත.

එහිදී එම යුවළ විසින් මේ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර තිබේ.

එවිට අල්ලස් නිලධාරීන් මෙම අල්ලස ගන්නා අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මත්පැන් බෝතල් දෙකෙහි වෙවෙළෙඳපොළ මිල රුපියල් 3260ක් බව සඳහන්‍ ය.