කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්රමවේදය එළඹෙන (24) සඳුදා දින සිට සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් පැවති පූර්ණ වෙළෙඳපොළ ප්රාග්ධන පදනම වෙනුවට චලිත වෙළෙඳපොළ ප්රාග්ධන (Float Adjusted Market Capitalization) පදනම, සියලු කොටස් මිල දර්ශක අගය ගණනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත වේ.
කොළඹ කොටස් හුවමාරුව එහි මූලික මිනුම් ලකුණ ලෙස සැලකෙන සියලු කොටස් මිල දර්ශක අගය හා එහි ප්රතිලාභ දර්ශකය ගණනය කරනු ලබයි. මෙතෙක් කාලයක් මෙම ගණනය කිරීමට බැර තැබීම සඳහා එහි ලැයිස්තුගත සමාගම් වල නිකුත් කරන ලද මුළු කොටස් ප්රමාණය භාවිත කළ අතර මහජනයා සතුව පවතින කොටස් ප්රතිශතය පිළිබඳව සැලකිල්ලට ලක් නොවුනි. එමෙන්ම මේ සඳහා සියලුම ලැයිස්තුගත ඡන්ද බලය හිමි කොටස් හා හිමි නොවන කොටස් සියල්ලෙහිම මිල වෙනස් වීම හරහා වන දර්ශකයට බලපෑම අදාළ සුරැකුම්පතෙහි මුළු වෙළෙඳපොළ ප්රාග්ධනය මත පදනම් විය.