අමෙරිකාවෙන් පොහොර මෙට්ට්‍රික් ටොන් 36,000ක ආධාරයක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වී වගාව සඳහා අවශ්‍ය ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙවත් මඩ පොහොර මෙට්ට්‍රික් ටොන් 36,000 ක් USAID වැඩසටහන මගින් මෙරටට ආධාරයක් ලෙස ලබාදීමට එකගතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙවර මහ කන්නයේදී මඩ පොහොර ලබාදීම සඳහා මුදල් ප්‍රතිපාදන සොයා ගැනීමේදී ගැටළුවකට මුහුණ පෑමට සිදුවූ බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. ඒ අනුව ආධාර ලෙස මෙරටට ලැබීමට නියමිත එම මඩ පොහොර තොගය මෙම කන්නයේදී භාවිත කිරීමට අපහසුතාවක් පැවතියත් ඉදිරි කන්නයේදී එම පොහොර තොගය ගොවීන් වෙත ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍ය මහින්ද අමරවීර ඒ බව සඳහන් කළේ 2022 – 2023 මහ කන්නයට අවශ්‍ය පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ අතර මෙතෙක් ගොවි ජනතාව වෙත නිසි පරිදි පොහොර ලබාදී නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළා.