නවතම පුවත්

අලුත් අවුරුද්දේ , මෙරට ආර්ථිකයේ ධනාත්මක හැරවුමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ සිදුවූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ අප සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ බහුතරයක් අත් විදින ලද පසුබෑම පිළිබද මනා වැටහීමක් තමන් සතු බව හා දැනටමත් මෙම අයහපත් කාලය පසුකර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව ප්‍රකාශ කළේ නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක්ව පැවත, ඉන් නිදහස ලබා මෙම වසරට වසර 75ක් සපිරෙනවා. එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවත නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්‍රගතිය ලබා ගැනීමට අප තවමත් සමත් වී නැහැ. මේ හේතුවෙන් රටේ බහුරතයක් තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටියා.

එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි අතර ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සදහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ අප කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ. මෙම වැඩපිළිවලේදී රට පළමුවට තබා කැපවී සිටින සැමටත්, රටේ ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් සිය හෘදයාංගම ස්තුතිය පිරිනමන බවද ජනාධිපතිවරයා පවසනවා.

නැවුම් බලාපොරොත්තු සමගින් රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙල ජයග්‍රහණයෙන් නිමාවන, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වන ජයග්‍රාහී වසරකට සියලුදෙනාට සුභාශිංසනය කරමින් සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවාවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නව අවුරුදු සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද 2023 නව වසර සඳහා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සකලවිද අභියෝග රැසක් අභිමුව වඩ වඩාත් යහපත් රටක් ගොඩ නැගීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා එම සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව හා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින් අනෙක් සෑම අංශයක් සඳහා වූ සංවර්ධනාත්මක ව්‍යායාමයක් තුළ සක්‍රීයව කටයුතු කළ යුතුයි. ජන ජීවිතයට බලපාන හා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන උපායමාර්ග තුළ කටයුතු කරමින් නව වසරේ වඩාත් සුභදායී රටක් වෙනුවෙන් කැපවෙමු යන්න අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රාර්ථනයයි.

අති මහත් වූ අර්බුද රැසකට මුහුණ දී, සහ තවමත් එයින් බොහෝ අර්බුදයන් අවසන් නොවූ තත්ත්වයක් තුළ 2023 වර්ෂය උදාවී ඇති බවයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙම වසර අන්ධකාරය පහව ආලෝකය උදා වන ජයග්‍රහණය උදෙසා මාවත විවර කරන, තීරණාත්මක සහ ජයග්‍රාහී වසරක් වේවායි ප්‍රාර්ථනා කරන බව ද විපක්‍ෂ නායකවරයා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සදහන්.

මේ අතර වැඩිහිටියන් ලෙස පසුගිය වසරටත් වඩා නව වසරේදී අප, අනාගත පරපුර පිළිබද අවධානයෙන් සිටිය යුතු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙනවා.

නව වසරට පණිවිඩයක් නිකුත් කරමින් කථානායකවරයා පැවසුවේ තරගකාරී ලෝකයක් අබියස, හැල්මේ දුවන දුවා දරුවන් දෙස ප්‍රවේශම් සහගත ඇසකින් බලා සිටිය යුත්තේ අප බවයි. රටේ අනාගත නායකත්වය උසුලන දරුවන් පිළිබද පවුලට, පාසලට පමණක් නොව පන්සලට, පල්ලියට මෙන්ම අසල්වැසියන්ට ද මහහැර යා නොහැකි පරාර්ථකාමී වගකීමක් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නව වසර සදහා නිකුත් කළ අවුරුදු පණිවිඩයේ වැඩිදුරටත් සදහන්.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනද නව වසර සඳහා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

රටක් ලෙස දිනා ගත යුතු, අත්පත් කරගත යුතු අරමුණු රැසක් අප ඉදිරියේ පවතින බවයි ඔහු එමඟින් පෙන්වා දෙන්නේ. නව වසර උත්කර්ෂවත් කරගත හැක්කේ එක්සත්ව එක්සිත්ව එකම අරමුණක් වෙනුවෙන් කැප වුවහොත් පමණයි. පටු දේශපාලන අරමුණු මතින් ගමන් කළහොත් නැව යළි මහ මුහුදේ ගිලී යනු ඇති. ඊට ඉඩක් නොතබා ශ්‍රී ලංකා මාතාවගේ එකම දරු පරපුරක් ලෙසින් නව වසර එකාවන්ව ජය ගැනීමට අධිෂ්ඨාන කරගනිමුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන නව වසර සඳහා නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි