අවුරුදු 10ක වැඩ චම්පික අවුරුද්දෙන් කරලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වත්මන් රජය මඟින් ඉතා කෙටි කාලයකින් විශාල සංවර්ධනයක් රට තුළ සිදු කළ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ කොම්පඤ්ඤවීදිය මෙට්රෝ හෝම්ස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමිනි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කිරීම යෝජිත මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වන් කලම්බු ප්‍රෙජෙක්ට් පුද්ගලික ආයතනය සමඟ එක්ව සිදු කරයි.

ඒ අනුව අක්කර 5 යි පර්චස් 37 ක් වූ භූමියක මෙම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පසුගිය රජය සමයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ අවස්ථාවේදී බලගතු විරෝධතාවයන් ඇතිවුණා.

පළමුවෙන්ම ආපු විරෝධතාවය තමයි මේ ජනතාව බලෙන් ඉවත් කරනවාය, එවකට තිබූ ආරක්‍ෂක අංශය හා එක්ව තිබූ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ජනයා ඉවත් කරනවාය කියන චෝදනාවක්.

ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු පවා සිදුවුණා. ඒ වගේම මේ කොළඹ ඉඩම් නොමිලේ විදේශ සමාගම්වලට ලබාදෙනවා කියලා චෝදනාවකුත් එල්ල වුනා.

ඒ සියල්ල මැද තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ වුනේ. මේ රජය බලයට පත්වී නාගරික සංවර්ධන අධිකාරිය මගේ අමාත්‍යාංශයට පැවරුණාම මේ ජනතාවගේ ප‍්‍රශ්න අපට ඉදිරිපත් කළා.

ඒ අය හුඟ දෙනෙක් කිව්වේ ඔවුන් මෙහි පාරම්පරික අයිතිකරුවෝ, ඒ නිසා ඔවුනට ගෞරවනීය ජීවිතයක් ලබාදිය යුතුයි දැන් ඔවුන් හිඟන්නෝ ගානට වැටිලා, කුලී කාරයෝ ගානට වැටිලා ජීවත් වන්නේ කියා.

ඒ අනුව අපි ඒ ටාටා සමාගමෙන්, වගේම මෙහි දේශීය ඉදිකිරීම් කටයුතු සිදුකළ ආයතනයට කතා කරලා හැකි ඉක්මනින් මේ නිවාස ඉදිකිරීමට කටයුතු කරනවා වගේම අපි ඒ ජනතාවගේ ඒ කුලී නිවාස වල කුලී ලබාදීම ආදියත් නාගරික සංවර්ධන අධිකාරිය අතට ගෙන සිදු කළා.

ඒ වගේම නගර සභාව ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය වගේ ආයතනත් සමඟ කතා කරලා ජලය, විදුලිය වගේ යටිතල පහසුකම් ලබාදෙන්න කටයුතු කළා.

ඒ අවස්ථාවේදී අපට පෙනී ගියා මේ වියදම් සියල්ලම සිදු කළහම නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 922 ක පමණ පාඩුවක් සිදුවන බව.

ඒ අවස්ථාවේදී අපි ඒ පිළිබඳව රජයේ, මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කළා.

නමුත් අපට සුදුසු පියවරක් ලැබුණේ නැහැ. මම හිතන්නේ ඒ ආයතනය ඒවාට මුදල වියදම් කරන්න පුළුවන් තරම් ශක්තිමත් තත්වයක හිටියේ නැහැ.

ඒ නිසා අපි මේ ව්‍යාපෘතිය අදාල සමාගම් සමග කතා කර නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් නැවත අධිකාරියට උපයා ගත හැකි ආකාරයට මෙම ව්‍යාපෘතිය සකස් කළා.

එසේ නොවෙන්න රුපියල් බිලියනයකට අධික මහජනයාගේ අරමුදල් රටට අහිමි වෙනවා කෙලින්ම මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන්. ඒ වගේම මේ ව්‍යාපෘතියත්, මෙයට යාබදව තිබෙන ඉම්පිරියල් ව්‍යාපෘතියත්, එහි තවම නිවාස ඉදිවෙලා නැහැ.

එම ජනතාව ඉතාම දුකෙන් පසුවෙනවා. ඒකට ආයෝජන සමාගමත් වගකිව යුතුයි. ඒ වගේම ජනතාවගෙත් ගැටළුවක් තිබෙනවා නිසි වෙලාවට සමහරු ඉවත් උනේ නැහැ.

2004 සිට 2015 දක්වා නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රාග්ධන වියදම රුපියල් බිලියන 22යි. 2016,17,18 කියන අවුරුදු 3 විතරක් නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රාග්ධන වියදම ඒ වගේම තුන් ගුණයක්.

දස අවුරුද්දක කරපු වැඩ අපි එක අවුරුද්දකින් කර තිබෙනවා. ඒ වගේම එකම ව්‍යාපෘතියකින්වත් අපි රට ණය කරලා නැහැ. රට වැටෙන්න දීලා නැහැ.

ඒ නිසා අපි තරඟකාරී පදනමින් කොළඹ ඉඩම් පරිහරණය කර තිබෙනවා. මේ යුධ හමුදා මූලස්ථානය අක්කර 6 ක්.

මිලියන 8,000 ට දුන්නේ සින්නක්කරවම. අපි මේ නවලෝක රෝහළ අසල ඊට වඩා මිලගණන් අඩු, පහසුකම් අඩු ස්ථානයක ඉඩම ලබාදුන්නේ මිලියන 13,000 කට තරඟකාරී පදනමින්.

මේකෙන් පෙනෙනවා පසුගිය කාලයේ ඉඩම් ගණු දෙනුවලින් කොපමණ ජාවාරම් සිදුවුණාද කියලා. ඒ වගේම අප සතුව පැහැදිලි ලිපි ලේඛන තිබෙනවා මේ ගණුදෙනුවෙන් සිදු වූ ඇතැම් දේවල් ගැන.

මේවා අපි අධිකරණවලට කියන්න යන්නේ නැහැ. අනාගතයේ ජනතා අධිකරණයට ඒවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.