අවුරුදු 18-19 අයට එන්නත් දීම සති 2කින් ඇරඹේ

Picture of අසංක

අසංක

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ලබන 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ.

ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ.

අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සෑම පාසලකදීම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබීය.

එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිදු කෙරේ.

මේ වන විට වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් 100%ක්, 30 ට වැඩි ජනගහණයෙන් 98% ක් එන්නත ලබාගෙන ඇති බව අනාවරණය කෙරිණ.

වයස් කාණ්ඩය 20 -30 අතර එන්නත ලබානොගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

වයස 12 – 19 අතර වයස් කාණ්ඩයේ සංජනනීය දරුවන් දසදහසකට අධික පිරිසකට මේ වන විට එන්නත ලබාදී තිබේ. දිවයිනේ සියලු රෝහල් සායනවලදී එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු සඳහන් කළහ.

එන්නත්කරණය සාර්ථක කරගැනීමට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලුම පාර්ශ්වයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තූතිය පළ කළේය.