අහිතකර පොල්තෙල් වලට අනුමැතිය දී නැහැ – ප්‍රමිති ආයතනය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආනයනකරුවන් සිව් දෙනෙකු විසින් ආනයනය කරන ලද සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසර දී ඇති බවට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර මුළුමණින්ම ව්‍යාජ හා අසත්‍ය බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අවධාරණය කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජීවිතවලට හෝ ජීවනෝපායන්ට අහිතකර වන කිසිදු වෙළෙඳ භාණ්ඩයක් හෝ ආහාරයක් සඳහා ප්‍රමිති ආයතනයේ අනුමැතිය හිමි නොවන බවයි.

සියලුම ආනයනකරුවන් විසින් මෙරටට ගෙන්වන ලද පොල්තෙල්වල “ඇෆලටොක්සින්” අඩංගු ද යන්න රසායනාගාර පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බව ප්‍රමිති ආයතනය පෙන්වා දෙයි.

පොල්තෙල් සහ වෙනත් ආදේශක තෙල් මෙරටට ආනයනය කිරීමේදී පිරිපහදු නොකළ තෙල් තොග පෞද්ගලික සමාගම් විසින් ගෙන්වනු ලබන අතර ඒවායේ තත්ත්ව පරීක්ෂාව සිදුකරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් විසිනි.

පෞද්ගලික සමාගම් දෙකක් ගෙන්වූ පිරිපහදු නොකළ පොල්තෙල් බහාලුම් 13ක “ඇෆලටොක්සින්” නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට හඳුනාගෙන ඇති බවට වාර්තා විය.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන අවධාරණයෙන් පෙන්වාදෙන්නේ මාධ්‍යවල මතුකර ඇති පරිදි රේගු අධිකාරිය,ප්‍රමිති ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් පොල් තෙල් බහාලුම් 13ක් පාරිභෝගිකයින්ට විකිණීම සඳහා අනුමත කර නොමැති බවයි. පාරිභෝගික කටයුතු අධිකාරියද මෙම ආනයන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව ද එම මාධ්‍ය නිවේදනයෙන් දක්වා තිබේ.

එමෙන්ම තෙල් ආනයනකරුවන් සිව් දෙනෙකු වන අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම,සේනා මිල්ස් පිරිපහදුව,එඩ්රිසිං එඩිබල් ඔයිල් සහ කටාන පිරිපහදුව යන සමාගම් දීර්ඝ කාලය පුරා තෙල් ගෙන්වීම සිදුකර හෙයින් එම සාම්පල පරික්ෂාවට ලක්වෙමින් පවතින බවත් ඉදිරි දිනවලදී එහි ප්‍රතිඵල දැනගත හැකිවනු ඇති බවත් ප්‍රමිති ආයතනය දන්වාසිටියි.

එම පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අහාර පරීක්ෂණ ඒකකය සමඟ එක්ව තත්ත්වය සුදුසු නම් පමණක් එම පොල් තෙල් වෙළෙඳපොළේ විකිණීම සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ලබාදෙන බවද ප්‍රමිති ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.